නවදිල්ලියේ විස දුමට විසදුමක්



දිනෙන් දින ඉහවහා යන ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විස දුමාරය අවම කිරීමට විසදුමක් ලෙස ජලය ඉසීමේ ක්‍රමවේදයක් යොදා ගැනීමට දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පියවර ගත්තේය.

වායු දූෂණයට ලක් වී ඇති නගර අතර නවදිල්ලිය ප්‍රමුඛත්වයේ පසුවෙයි. නවදිල්ලියේ වායු දූෂණය සිදුවී ඇත්තේ කර්මාන්ත ශාලාවලින් සහ වාහනවලින් නිකුත් වන දුම හේතුවෙනි. මේ හේතුව නිසා ඩීසල් වාහන අවම කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළ ද එය එතරම් සාර්ථක වී නැත.

විස සංඝටක පිරි මෙම විස වායුව, මීදුමක් සේ නවදිල්ලිය වසා පවතී. ඉංග්‍රීසි බසින් විද්‍යාඥයන් මෙම විස දුම හඳුන්වන්නේ ‘ස්මොග්’ යන නමිනි. ජලය ඉසීමට යොදා ගැනෙන්නේ කාලතුවක්කුවක ආකාරයේ ජල විඳිනයකි. එය ජල ටැංකියකට සම්බන්ධ කෙරේ.

රසායනික ක්‍රියාවලියකින් පසු පරමාණු වෙන් කෙරුණු ජලය වාතයට ඉසීම සිදුවෙයි. ජල විඳින තුවක්කුව යොදා ගනිමින් මීටර් 50 ක් උසට ජලය ඉසීම කළ හැකිය.  පරමාණු වෙන් කරන ලද ජලය ඉසීමේදී, වාතයේ ඇති විස සංඝටක ජල අංශු සමඟ මුසුවී පහළට පතිත වෙයි. එවිට විස දුම පහව යෑමක් සිදුවෙයි.

ජලය ඉසීම සිදු කරද්දී, මහ ඇමැති කෙජ්රිවාල් පමණක් නොව, නියෝජ්‍ය මහ ඇමැති සිසෝඩියා සහ පරිසර ඇමැති ඉම්රාන් හුසේන් ද එක් වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS