දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි.

ඒ අනුව, ජනපති බලතල අවභාවිතය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට එල්ල වන චෝදනා ලබන සතියේ විභාගයට ගැනීමට නියමිත බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් මණ්ඩල නායක මිච් මැකොනල් මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ජනාධිපති ට්‍රම්ප්ට ඇති චෝදනා සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණේ එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට යොමු කිරීමෙන් පසුවය. දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් කෙරුණි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය. එහෙයින්, ට්‍රම්ප් එම දෝෂාභියෝගයෙන් පරාජය විය. දෝෂාභියෝගය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීම එහි දෙවැනි ක්‍රියාවලියයි.

සෙනෙට් මණ්ඩලයට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් කොංග්‍රසයේ පැවැත්වෙයි. ජනපති ට්‍රම්ප්ට එරෙහි චෝදනා විභාග කිරීම සිදු වන්නේ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. ඒ සම්බන්ධයෙන්, ජෝන් රොබට්ස් දිවුරුම් දුන් අතර, ජූරි සභිකයන් ලෙස කටයුතු කරන සෙනෙට් සභිකයන්ගේ දිවුරුම් දීම ද සිදුවිය.

ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළේ ඩිමොක්‍රටික් පක්ෂ කතා නායිකා නැන්සි පෙලෝසිගේ මැදිහත් වීමෙනි.

ඊට හේතුව වූයේ ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සි අතර පැවැති දුරකතන කතාබහකි. එම දුරකතන කතාබහ නැන්සි පෙලෝසිට දැනුම් දුන්නේ, ධවල මන්දිරයට අනුයුක්තව රාජකාරි කළ සී.අයි.ඒ. නිලධාරියෙකි.

මෙම 2020 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව හෝ මෙතෙක් තීරණය වී නැත.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් අපේක්ෂකයන් කීප දෙනෙකු අතරේ මේ වනවිට සටනක් පැවැත්වෙයි. එම අපේක්ෂකයන්ගෙන් කෙනෙකු වන්නේ හිටපු ඇමෙරිකා උප ජනාධිපතිවරයකු ද වන ජෝ බයිඩන්ය.

බයිඩන් උප ජනාධිපති ධුරය හෙබවූයේ, බැරැක් ඔබාමා ජනපති ධුරය හොබවද්දීය. මේවනවිට යුක්රේන තෙල් සහ ගෑස් සමාගමක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන් ය.

අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන්, හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල විය. එවකට පැවැති යුක්රේන රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී, උප ජනපති බයිඩන් ඊට හරස් වී ඇත. ඒ අනුව, පරීක්ෂණ යට ගැසුණි.

මෙම සිදුවීම යළි එළියට ගැනීමටත්, ජෝ බයිඩන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන ලෙසත්, දුරකතන කතාබහේදී වත්මන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කර කළේය.

ඒ, ජෝ බයිඩන් තම ප්‍රතිවාදී අපේක්ෂකයා වුවහොත් ඔහුට ‘මඩ ගැසීමේ’ අරමුණින් ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට බලපෑම් කරන බව එම දුරකතන කතාබහෙන් පැහැදිලි විය.

ජෝ බයිඩන් ගැන විමර්ශනයක් නොකරන්නේ නම්, යුක්රේන රජයට ඇමෙරිකාවෙන් ලබා දෙන ආධාර නවත්වනවා යැයි ද යුක්රේන ජනපතිවරයාට ට්‍රම්ප් තර්ජනය කර තිබේ. ඩිමොක්‍රටික් කතා නායිකා නැන්සි පෙලෝසී, ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආවේ ඒ අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS