ටැන්සානියා ජනපතිට කජු ප්‍රශ්නයක්



කජු අර්බුදයක් මුල්කොට ගනිමින්, අප්‍රිකාවට අයත් ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මැගුෆුලී, එරට කෘෂිකර්ම සහ වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් ධුරයෙන් නෙරපා දැම්මේය.

ටැන්සානියාවේ ප්‍රධාන අපනයනය කජුය. නියමිත මිලකට ගොවීන්ගෙන් කජු මිලදී ගන්නැයි කජු වෙළෙන්ඳන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි. එසේ නොකරන්නේ නම්, තමන් අර්බුදයට මැදිහත් වන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබුණි.

කෙසේ නමුත් පසුගිය සති කිහිපය පුරාවටම තමන්ට අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙමින්, කජු ගොවීන් කජු විකිණීම ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ කජු කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා ඇමෙරිකන් ඩොලර් 1.3 ක මුදලක් ගෙවන ලෙසය. කෙසේ නමුත් වෙළෙන්ඳන් ඊට කන් දී නැති බව පැවැසෙයි.

ඒ අනුව, හමුදාව යොදවා කජු අස්වැන්න ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත්, එම කජු අස්වැන්න තම රජය විසින් මිලදී ගැනීමට කටයුතු කරනු ඇති බවත් ටැන්සානියා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ටැන්සානියාවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළේ චාල්ස් ටිසේබාය. වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳ ඇමැතිවරයා වූයේ චාල්ස් වේයිජ්ය. මොවුන් දෙදෙනා වෙනුවට නව ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනා මැගින් පත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මීට අමතරව, ටැන්සිනියා කජු මණ්ඩලයේ සභාපතිවරයා ද එම ධුරයෙන් නෙරපා දැමීමටත්, ඒ සඳහා වෙනත් සුදුස්සකු පත් කිරීමටත් ජනාධිපතිවරයා පියවර ගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS