ට්‍රම්ප්ගේ තහනමට අලුතින් රටවල් 3 ක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක සංචාරක තහනමට අලුතින් රටවල් තුනක් එක් වන බව ධවල මන්දිරය නිවේදනය කළේය.

අලුතින් එක් වන එම රටවල් වන්නේ උතුරු කොරියාව, ලතින් ඇමෙරිකාවේ වෙනිසියුලාව සහ අප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයයි. ජනපති ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ලක්වී ඇති සෙසු රටවල් වන්නේ ඉරානය, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ යේමනයයි. මීට අමතරව සුඩානය ද මෙම රටවල් අතරට එක් කිරීමට නියමිත යැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ මිසයිල වැඩසටහන මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතරේ අර්බුදයක් පවතී. පසුගිය දා නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයට එක් වෙමින් ජනපති ට්‍රම්ප් උතුරු කොරියාව සහ වෙනිසියුලාව දැඩි ලෙස විවේචනය කළේය.

‘හිතුවක්කාර’ අන්දමින් මිසයිල අත්හදා බලන හෙයින් ජනපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයා හඳුන්වන්නේ ‘රොකට් මෑන්’ යන නමිනි. ඕනෑම අවස්ථාවක උතුරු කොරියාව විනාශ කිරීමට පවා තමා පසුබට නොවන බව ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී තර්ජනයක් ද කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS