ට්‍රම්ප් රෝමයේ



මැදපෙරදිග සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඇතුළු පිරිස ඉතාලිය බලා පැමිණියහ.

මෙය ට්‍රම්ප්ගේ පළමු විදෙස් සංචාරයේ තෙවැනි අදියරය. රෝමයට පැමිණි ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පිළිගනු ලැබුවේ ඉතාලි විදේශ ඇමැති ඇන්ජිලේනෝ ඇල්ෆානෝ විසිනි.

ට්‍රම්ප් සහ පිරිවර රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය පැමිණියේ රෝමයේ ලියනාඩෝ ඩාවින්සි ගුවන්තොටුපොළටය. ඒ, ඉතාලියේ වේලාවෙන් 6.30 ට පමණි.

ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ සැමියා ජෙරාඞ් ද ට්‍රම්ප් සමඟ මෙම සංචාරයට ද එක් ව සිටිති. මොවුහු දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති.

ඇමෙරිකා ජනපතිවරයාට විරෝධය පළ කරමින් විරෝධතා රැළි පවා පැවැත්විණි. ඒ, රෝමයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය අසල පියාසා බොලොන්ගා වීදිය හරස් කරමිනි. ට්‍රම්ප් පැය කිහිපයකට රැඳී සිටිනු ඇත්තේ මෙම ස්ථානයේය.

විරෝධතාකරුවන් ඉවත් කිරීමට ඉතාලි ආරක්ෂක අංශ කටයුතු කළ බව පසුව වාර්තා විය. විරෝධතාව පැවැත්වූවෝ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරෝධය දක්වන ඉතාලි ජාතිකයෝ පිරිසකි. ඒ අතර ඇමෙරිකානුවන් කිහිප දෙනකු සිටි බව ද වාර්තා වේ.

ට්‍රම්ප්ගේ මෙම ඉතාලි සංචාරය ඉතා කෙටි එකක් වන අතර ඔහු සහ බිරිඳ මෙලානියා වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හමුවී කතාබහ කළහ. හමුව විනාඩි 20 කට සීමා විය.

රොයිටර්


RECOMMEND POSTS