ට්‍රම්ප් - කිම් ජොන් උන් දෙවැනි හමුව වියට්නාමයේ



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ තමා අතර දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේදී පැවැත්වෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ, සිය ප්‍රතිපත්ති කතාව (ස්ටේට් ඔෆ් යූනියන්) කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

හමුව පැවැත්වෙන්නේ වියට්නාමයේ කුමන නගරයේ ද යන්න සම්බන්ධයෙන් ට්‍රම්ප් කිසිවක් පැවැසුවේ නැත. හමුව පැවැත්වෙනු ඇත්තේ හැනොයි අගනුවර හෝ මුහුද අද්දර ඩැනන්ග් නුවර යැයි අනුමාන කෙරේ. එම හමුව සාර්ථකව පැවැත්වීම සඳහා ඇමෙරිකා විශේෂ නියෝජිත ස්ටීවන් බියගන් උතුරු කොරියාව බලා ගොස් සිටින බව ද ජනාධිපති ට්‍රම්ප් මතක් කළේය.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පළමු හමුව පසුගිය වසරේ ජූනි මාසයේදී පැවැත්විණි. එහිදී උතුරු කොරියා නායකයා සාමයට කැපවුණු අතර, න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුකරන බවට ප්‍රතිඥාවක් ද දුන්නේය.
කෙසේ නමුත් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනසක් සිදු නොකරන තුරු ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS