ජෝ බයිඩන්ට දෙවැනි එන්නත ලැබේ
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන් ට ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද (12) සිදුවිය.
බයිඩන්ට ලබා දෙන්නේ ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට නිපවදා ඇති ‘ෆයිසර්’ එන්නතය. සියයට 95 ක් සාර්ථක මෙම එන්න මාත්‍රා දෙකකි. පළමු එන්නත ලබා ගැනීමෙන් දින 21 කින් දෙවැනි එන්නත ලබා ගැනීම කළ යුතුය. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ ඇති වන්නේ ඉන්පසුවය. බයිඩන්ට පළමු එන්නත ලැබුණේ පසුගිය දෙසැම්බර් 21 වැනිදාය.
78 හැවිරිදි බයිඩන්, සිය දෙවැනි එන්නත ලබා ගැනීම සිදු කරනු ඇත්තේ ඔහු පදිංචි ඩෙලවෙයාර් ජනපදයේ, නෙවාක් නුවර ‘ක්රිස්ටියැනා’ රෝහලේදීය. බයිඩන් පළමු එන්නත ලබා ගැනීම සිදු කළේ ද මෙම රෝහලේදීය. බයිඩන්ට අමතරව ඔහුගේ බිරිඳ ජිල් ද ප්‍රතිශක්ති දෙවැනි එන්නත ලබා ගත්තාය.
බයිඩන් පළමු එන්නත ලබා ගත් අවස්ථාව මෙන්ම, මෙම දෙවැනි එන්නත ලබා ගන්නා අවස්ථාව ද සජීවීව පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. බයිඩන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගන්නේ එය ලබා ගැනීම ආරක්ෂිත බවත් එය ලබා ගත යුතු බවත් ඇමෙරිකානුවන්ට ඒත්තු ගැන්වීමටය.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ජනපති ධුරයට පත් වී දින 100 ඇතුළත ඇමෙරිකානුවන් මිලියන 50 කට එන්නත ලබා දීමට බයිඩන් ප්‍රතිඥා දී ඇත.
‘එන්නත ලබා ගන්න. බය වෙන්න එපා. එන්නත ලබා ගත්තත් මුහුණු ආවරණ පලඳින්න. සමාජ දුරස්ථභාවය, දෑත් සේදීම අනිවාර්යයි. අසුරු සැණින් සියල්ල යහපත් වන්නේ නැහැ’ යැයි එන්නත ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බයිඩන් පෙන්වා දුන්නේය.
‘නෙවාර්ක්හිදීය (රොයිටර්)