ජොර්දානයේ අබ්දුල්ලා රජු ඇමෙරිකාවේ සංචාරයක



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණ සිටින ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු සහ රැජින රානියා ඊයේ (5) වොෂින්ටන් අගනුවරදී ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් හමුවූහ.

ජනපති ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුව ධවල මන්දිරයට පැමිණි අබ්දුල්ලා රජුට සහ රැජිනට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ද්වීපාර්ශ්වීය සබඳතා තර කර ගැනීමෙන් පසු, ජනපති ට්‍රම්ප් සහ ජෝර්දාන රජු අතරේ මැදපරෙදිග කලාපයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. සිරියානු අර්බුදය ගැන ද කතාබහට ලක්විය.

හමුව අවසානයේ අබ්දුල්ලා රජු සහ ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. එහිදී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සහ සිරියානු ජනපති අසාද් සම්බන්ධයෙන් අදහස් පළකිරීමට ද ජනපති ට්‍රම්ප් පියවර ගත්තේය.

රසායනික විස වායු ප්‍රහාර එල්ල කරමින් අහිංසක දරුවන් ඇතුළු සිවිල් වැසියන් මරා දමන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සමාවක් දිය නොහැකි බවත්, අවශ්‍ය වුවහොත් සිරියානු රජයට එරෙහිව හමුදා බලය යොදා ගැනීමට පසුබට නොවන බවත් ජනපති ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS