ජගත් අධිකරණයේදී වස බීලා



යුද අපරාධකරුවකු යැයි චෝදනා ලැබ සිටි බොස්නියා ක්‍රෝට් ජාතික 72 හැවිරිදි සොලොබොඩාන් පර්ජැක් සම්බන්ධ නඩු විභාගය හේග් නුවර ජගත් අපරාධ අධිකරණයට හමුවේ පැවත්වෙද්දී, පර්ජැක් වස පානය කළ බවත්, රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් වාර්තා වේ.

අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිද්දී, සොලොබොඩාන් පර්ජැක්, ඔහුට වෙන් කළ කුඩා වතුර බෝතලය පානය කරන්න වූ බවත්, වස මුසුකොට තිබුණේ මෙම වතුර බෝතලයට බවත් පසුව තහවුරු විය.

පර්ජැක් එසේ වස පානය කළේ විනිසුරු මඬුල්ල, නීතීඥවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් බලන් සිටිද්දීය. නඩු විභාගය ප්‍රධාන පෙළේ විදෙස් පුවත් සේවා ඔස්සේ සජීවීව විකාශය වෙමින් ද තිබුණි.

පර්ජැක් බොස්නියා ක්‍රෝට් ජාතිකයෙකි. බොස්නියා ක්‍රෝට් හමුදාවේ හිටපු නායකයෙකි. පර්ජැක් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මොහුට 20 වසරක සිර දඬුවමක් නියම කළේය.

එම අවස්ථාවේදී ප්‍රධාන විනිසුරුගේ කීමට කන් නොදී, නැගී සිටිමින්, පර්ජැක් වතුර බෝතලය පානය කරන්නේ ‘මම අපරාධකරුවෙක් නොවේ. උසාවියේ තීන්දුව මම පිළිගන්නේ නැහැ’ යි කියමිනි.

බෝතලය පානය කිරීමෙන් පසු ‘මම වස බීවා’ යැයි පර්ජැක් කියා සිටියේය. එය ඔහුගේ අවසන් වදන් විය. ඒ සමඟ අධිකරණ ශාලාවේ මහත් කලබලයක් ද හටගත්තේය.

බෝතලය පානය කිරීමෙන් පසු ඇද වැටුණු පර්ජැක් කඩිනමින් රෝහල් ගත කළ බවත්, රෝහලේ දී ඔහු ජීවිතක්ෂයට පත් වුණු බවත් පසුව වාර්තා විය.

ඒ අනුව, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ වනවිට අපරාධයක් සිදුවුණු ස්ථානයක් ලෙස පොලිසිය විසින් නම් කර ඇති අතර පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතී.

වස මුසු කර තිබුණේ පර්ජැක්ගේ වතුර බෝතලයට පමණක් බව පොලිසිය පවසයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙවැනි දෙයක් සිදුවීමෙන් පෙනී යන්නේ එහි ආරක්ෂාව ඉතා පහළ මට්ටමක පවතින බව යැයි ද පැවැසෙයි. පොලිසිය පෙන්වා දී ඇත්තේ නඩු විභාගය පැවැත්වෙද්දී, අධිකරණයේ සිටි සියලුම දෙනා සැකකරුවන් යැයි ද පොලිසිය පවසා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS