චීනය නිවැරදි දත්ත දීලා නෑ



'කොවිඩ් 19' හෙවත් නව කොරෝන වයිරසයේ සුලමුල සෙවීමට තමන් චීනයට යැවූ විමර්ශන කණ්ඩායමට, චීන රජය වයිරසයේ ආරම්භය සම්බන්ධ මූලික දත්ත කිසිවක් ලබා දී නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ චෝදනා කළේ විමර්ශන කටයුතු අවසන් කර චීනයෙන් පිටත් වූ එම විශේෂ කණ්ඩායම ලබා දුන් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

'කොවිඩ් 19' වයිරසය චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූයේ 2019 ජනවාරියේය. විශේෂඥ කණ්ඩායටම ඔවුන්ගේ විමර්ශන සිදු කළේ වූහාන් නුවරට ගොසිනි.

මුල්ම ආසාදිතයන් ලෙස චීන සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබූ 174 දෙනකු සිටින නමුත්, එම 174 දෙනාගේ විස්තර කිසිවක් චීන රජය විමර්ශන කණ්ඩායමට ලබා දී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙයි.

'කොවිඩ් 19' වයිරසයේ සුලමුල සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් චීනයේ වූහාන් යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ වයිරසයේ ව්‍යාප්තියට චීන රජය වගකිව යුතු යැයි ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ චෝදනා කිරීමට පටන් ගත් නිසාය.

වූහාන් ගොස් පැමිණි සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත එම විමර්ශන කණ්ඩායමට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය, මහා බ්‍රිතාන්‍යය, රුසියාව, නෙදර්ලන්තය, කටාරය සහ වියට්නාමය නියෝජනය කරමින් විශේෂඥයන් එක් වී සිටියේය.

 වයිරසවේදීන්, වෛද්‍යවරුන්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්, සත්ව විද්‍යාඥයන් කණ්ඩායමට ඇතුළත්ය. කණ්ඩායමට නායකයා ආචාර්ය පීටර් බෙන් එම්බර්ක්ය.

කණ්ඩායම චීනයට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ පසුගිය 2021 දෙසැම්බරයේය. ඒ, වයිරසය ආරම්භ වී වසරක් ගත වෙද්දී, වූහාන් නුවරින් කිසිදු ආසාදිතයකු වාර්තා නොවීමත් සමඟය.

මුලදී අදිමදි කළත්, වාද විවාද රැසකින් සහ ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම එල්ල වුණු පීඩනය මැද චීන රජය විමර්ශන කණ්ඩායමට අවසර දුන්නේය.

වූහාන් නුවර විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු, චීනයෙන් පිටත් වීමට පෙර පසුගිය 9 විමර්ශන කණ්ඩායම විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔවුන් සොයා ගත් සියල්ල ලොවට හෙළි කළේය. ඒ අනුව පෙනී ගියේ වයිරසයේ ආරම්භය තහවුරු කර ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකියාවක් ලැබී නැති බවය.

වයිරස වූහාන් නුවර පිහිටි වයිරස ගබඩා කර ඇති රසායනාගාරයෙන් වයිරසය කාන්දුවීමක් සිදුවුණැයි යන්න සැක සහිත යැයි විමර්ශන කණ්ඩායම පෙන්වා දුන්නේය.

චීන බලධාරීන් මෙන්ම තමන් ද වූහාන් සත්ව සහ මත්ස්‍ය ආහාර වෙළෙඳපොළ හරහා වයිරසය පැතිරෙන්න ඇති බව තමන් සැක කරන බව විමර්ශන කණ්ඩායම පැහැදිලි කළේය‍.

වයිරසය වෙනත් ආසියානු රටකින්, ශීත කරමින් ගෙන්වන ලද සත්ව ආහාර හරහා වූහාන් නගරයට පැමිණෙන්න ඇතැයි ද විමර්ශන කණ්ඩායම සැක පළ කළේය. ඔවුන්ගේ අවසන් නිර්දේශය වූයේ වැඩිදුර විමර්ශන අවශ්‍ය බවය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS