චීන ව්‍යාපෘතිය නවත්වයි



චීන රජයේ අනුග‍්‍රහය යටතේ ඉදිකිරීමට නියමිත නව ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය නවතා දැමීමට අපි‍්‍රකාවට අයත් සියොරා ලියොන් රාජ්‍යය තීරණය කළේය.

‘මමාමා’ නමින් නම් කළ නව ගුවන්තොටුපොළ ඉදිකිරීමට වැය යන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 400 කි.  සියේරා ලියොන් රාජ්‍යය ණය අර්බුදයකට ලක්වී ඇත. ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවුවහොත් එම ණය අර්බුදය තවත් උත්සන්න වනු ඇති බව පැවැසෙයි. ඒ අනුව, ව්‍යාපෘතිය අවලංගු කරන බව සියේරා ලියොන් ජනාධිපති ජුලියස් මාදා බියෝ පවසා ඇත.

ගුවන්තොටුපොළ ඉදිකිරීමේ ව්‍යාපෘතියට චීන රජය සමඟ ගිවිසුම් අත්සන් කළේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ රැුඳී සිටි හිටපු ජනාධිපති අර්නස්ට් බායි කොරෝමාය. කොරෝමා සහ චීන ජනාධිපති අතරේ සමීප මිත‍්‍රත්වයක් ද පැවැතිණි.
පසුගිය මාර්තුවේ සියේරා ලියොන් රාජ්‍යයේ ජනාධිපතිවරණයක් පැවැත්විණි. වසර දහයක් තිස්සේ රට පාලනය කළ කොරෝමා ඊට ඉදිරිපත් වූයේ නැත. ජයග‍්‍රහණය කළ ඔහුගේ ජනතා පක්ෂය නියෝජනය කළ ජුලියස් මාදා බියෝය.

ජනාධිපති අ කොරෝමා ‘මමාමා’ ගුවන්තොටුපොළ ඉදිකිරීමේ ගිවිසුමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී ලෝක බැංකුව පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සියෙරා ලියොන් රාජ්‍යයට අනතුරු අඟවා තිබුණේ එම ව්‍යාපෘතිය හේතුවෙන් රට තවත් ණය බරින් මිරිකෙනු ඇති බවය.

‘මමාමා’ නව ගුවන්තොටුපොළේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිත තිබුණේ 2022 දීය. ව්‍යාපෘතියට ජනතා පක්ෂයේ බොහෝ දෙනාගේ ද විරෝධය එල්ල වී තිබුණි.

‘හිටපු ජනාධිපති කොරෝමා චීනයේ මුදල් ආධාර සහ ණය මත ඉදිකිරීමට සැලැසුම් කළ ‘මමාමා’ ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය නැවැත්වීමට තීරණය කළා. මෙම ගුවන්තොටුපොළ රටට බරක් බවත්, එය රටට අනවශ්‍ය දෙයක් බවත් වත්මන් ජනාධිපති බියෝ සලකනවා. ඒ වෙනුවට අගනුවර ඇති ලූන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අලූත් කිරීමට තීරණය කළා.’ යැයි සියේරා ලියොන් ගුවන් කටයුතු පිළිබඳ අමාත්‍ය කෙබිනේ කැලොන් බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වා ඇත.
යෝජිත ව්‍යාපෘතිය අවලංගු කරන්නේ චීනය සමඟ පවතින යහපත් සබඳතාවලට බාධාවක් නොවන අයුරින් යැයි ද අමාත්‍ය කෙබිනේ කැලොන් පැහැදිලි කර තිබේ.

‘ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය නතර කිරීමට ජනාධිපති බියෝ ගේ රජය තීරණය කර තිබෙනවා. එය නිවැරදි තීරණය යැයි රජය විශ්වාස කරනවා. ව්‍යාපෘතිය නතර වුවත් සියේරා ලියොන් සහ චීනය අතර පවතින සබඳතාවලට කිසිදු බාධායක් සිදුවෙන්නේ නැහැ’ යැයි සියේරා ලියොන් හි චීන තානාපති වූ පෙංග් පවසා ඇත.

සියෙරා ලියොන් රාජ්‍යය සේම, අපි‍්‍රකාවේ රටවල් බොහොමයක් චීනයේ ‘ණය උගුලකට’ හසුවී ඇති බව ඇමෙරිකාව පෙන්වා දෙයි.‘යටිතල පහසුකම් නංවාලීමට මැදිහත් වෙමින්, චීනය අපි‍්‍රකා රටවල් බොහොමයක් අමාරුවේ දමා ඇතැයි’ ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චියන් පමණක් නොව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ ද අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් ඇමෙරිකාවෙන් එල්ල වන මෙම චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. අපි‍්‍රකා කලාපය වෙනුවෙන් පත් කළ චීන විශේෂ නියෝජිත සූ සිංගු පවසා ඇත්තේ ඇමෙරිකාව පදනම් විරහිත චෝදනා එල්ල කරන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS