ගගනගාමියෙක් උඩ යවනවා



චීනයේ උදවු ඇතිව, 2022 වසරේ දී, ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමට තමන් බලාපොරොත්තු වන බව පාකිස්තානය කියයි.

පාකිස්තාන රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ, එරට ජනමාධ්‍ය ඇමැති ෆාවාද් චෞද්‍රිය. මේ සම්බන්ධයෙන් (25) විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්වුණු බව පැවැසෙයි.

න්‍යෂ්ටික බලැති පාකිස්තානයේ අභ්‍යවකාශ වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ ‘සුපර්කෝ’ හෙවත් ‘පාකිස්තාන අභ්‍යවකාශ පර්යේෂණ කොමිසම’ යටතේය. ‘සුපර්කෝ’ සහ චීන ගගන සමාගමක් අතරේ මේ වනවිටත් 2022 මෙහෙයුම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇති බව ද පැවැසෙයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලබන 3 වැනිදා, චීනයේ බීජීං අගනුවර සංචාරය කිරීමට සූදානමින් සිටී. අගමැති ධුරයට පත් වීමෙන් පසු ඉම්රාන් චීනය බලා යන පළමු අවස්ථාව මෙයයි. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන අගමැති ලී කෙකියැං හමුවී සාකච්ඡුා පැවැත්වීමට ඉම්රාන් සූදානම්ය. 

ඇමෙරිකාව සහ රුසියාවට පසු අභ්‍යවකාශය ජයගත් තෙවැනි රට වන්නේ චීනයයි. චීනය පළමු වරට එරට ගගනගාමියකු අභ්‍යවකාශයට යවනු ලැබුවේ 2003 දීය.

ඉන්දියාව මීට මාස කීපයකට පෙර, 72 වැනි නිදහස් දිනය සැමරුවේය. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රතිඥාවක් දුන්නේ  2022 වසර වෙද්දී, ඉන්දියාව අභ්‍යවකාශය ජය ගැනීමට කටයුතු කරන බවය.

ඒ අනුව, 2022 වෙද්දී අභ්‍යවකාශයට ගගනගාමීන් යැවීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ප‍්‍රතිවාදී පාකිස්තානය අතර තරගයක් නිර්මාණය වනු ඇත.

අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව ද ඉදිරියෙන් සිටී. ඉන්දියාව අඟහරු ගවේෂණයට යානයක් ද යවා ඇත. එපමණක් නොව, සඳ මතුපිට ජල අංශු ඇති බවට මුලින්ම සොයා ගත්තේ ද ඉන්දියාව යැවූ රොබෝ ගවේෂණ යානයකි.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS