කේරළයෙත් ඩෙංගු



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඩෙංගු වයිරසය හිස ඔසවා ඇති බවත්, පසුගිය සති තුන ඇතුළත මරණ 21 ක් වාර්තා වී ඇති බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු කියති.

අද වනවිට 40,000 ක ඩෙංගු රෝගීන් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය බලධාරීහු කියති. ඩෙංගු රෝගීන් බහුලව හමුවී ඇත්තේ කේරළයේ තිරුවාන්තපුරම් අගනුවරය.

පසුගිය මැයි මාසයේ පටන් මේ දක්වා අගනුවරින් පමණක් ඩෙංගු රෝගීන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් ගැන වාර්තා වී ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

රෝහල් පිරී යෑමත් සමඟ රෝහල්වලට අලුත් ඇඳන්, මෙට්ට ආදිය ගෙන්වා ගැනීමට ද බලධාරීන් මේ වනවිට පියවර ගෙන ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. රෝහල් බලධාරීන් සහතික වී ඇත්තේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවය.

පාසල්, ප්‍රජා මධ්‍යස්ථා කේන්ද්‍ර කොට ගනිමින් තාවකාලික වෛද්‍ය කඳවුරු පිහිටුවා රෝගීන් පරීක්ෂාව සහ ඔවුන්ට උපදෙස් දීම සිදු කරන බව ද කේළර බලධාරීහු කියති. මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීම සහ දුමායන කටයුතු සිදු කිරීම ද නොකඩවා ක්‍රියාත්මක කෙරෙන බව බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS