කේප්ටවුන් නගරයේ ඉරණම බැංගලෝරයට



දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ ජලය දිනේන දින සිඳී යමින් පවතින බවත්, දකුණු ඉන්දියාවේ බැංගලෝර් (බැංගලූරු) නගරයට ද එම ඉරණම අත්වෙමින් පවතින බවත් නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙම සමීපක්ෂණය සිදු කර ඇත්තේ බැංගලෝර් නගර බලධාරීන්, පරිසරවේදීන්, භූ විද්‍යාඥයන් සහ බි්‍රතාන්‍ය බී.බී.සී. පුවත් නාළිකාව එක් වෙමිනි. පවතින වියලි කාලගුණ තත්ත්වය අර්බුදය තව තවත් උත්සන්න කිරීමට හේතුවක් වී ඇති බව ද එම සමීපක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව, තව වසරක් හෝ දෙකක් යද්දී, බැංගලෝරයේ ජලය මුළුමනින්ම සිඳී යනු ඇති බවට බියක් හටගෙන තිබේ.

වර්තමානයේ බැංගලූරු යන නමින් ද හැඳින්වෙන බැංගලෝරය දකුණු ඉන්දියාවට අයත් කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වෙයි. ඉන්දියාවේ පරිගණක කටයුතු සහ තාක්ෂණික කටයුතු සම්බන්ධ අගනුවර ලෙස සැළකෙන්නේ බැංගලෝරයයි. ඉන්දියාවේ ‘සිලිකන් වැලි’ යනුවෙන් හැඳින්වෙන්නේ ද බැංගලෝරයයි.

බැංගලෝරය දිනෙන් දින ජනාකීර්ණ වෙමින් පවතී. 2012 වෙද්දී බැංගලෝරයේ ජනගහනය මිලියන 9 ක් විය. අද වනවිට එහි ජනගහනය මිලියන 12 ඉක්මවා ඇත. නගර වැසියන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම ගැටළුවක් වී ඇති බවත්, එම ගැටළුවට පිළියම් සෙවීම දුෂ්කර බවත් බැංගලෝර් නගර බලධාරීහු කියති.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයයේ වැසියන් උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා සිටින්නේ පසුගිය වසර කිහිපය තිස්සේය. කේප් ටවුන් නගරසභා බලධාරීන් නිවේදනය කර ඇත්තේ නගර වැසියන් වෙනුවෙන් ජලය ලබා දිය හැක්කේ අප්‍රේල් 22 වැනිදා තෙක් පමණක් බවය.

මෙම වසරේ මැයි මාසය වෙද්දී, කේප් ටවුන් නගරය මුළුමනින්ම ජලය නොමැති ස්ථානයක් බවට පත් වනු ඇති බව බලධාරීන් අනතුරු අඟවා ඇත.

එසේ වුවහොත් ජලය සිඳී යන ලොව පළමු ප්‍රධාන නගරය වනු ඇත්තේ කේප් ටවුන් බව නගර බලධාරීහු පෙන්වා දෙති. කේප් ටවුන් යනු දකුණු අප්‍රිකාවේ වරාය නගරයයි. 2011 වසරේ ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය 4,33,688 කි.

(බී.බී.සී./එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS