කිම් ජොන් උන් - ට්‍රම්ප්ට ආයාචනා කරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව පැවැත්වීමට කටයුතු යෙදුණේ, එම හමුව කෙසේ හෝ පවත්වන්නැයි උතුරු කොරියා නායකයා කළ ආයාචනය ට්‍රම්ප් සැළකිල්ලට ගත් නිසා යැයි ට්‍රම්ප්ගේ නීතීඥ රූඩි ගියුලියානී පවසයි.

රූඩි ගියුලියානී මෙසේ කියා සිටියේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. එම සම්මන්ත්‍රණය පැවැත්වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය මුල්කොට ගනිමිනි. 74 හැවිරිදි රූඩි ගියුලියානී දේශපාලනඥයෙකි. ඔහු ට්‍රම්ප්ගේ නීතීඥවරයා පමණක් නොව, නිව්යෝක් නුවර නගරාධිපති ලෙස ද කටයුතු කළ අයෙකි. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ උතුරු කොරියා රජයට ‘පීඩනයක්’ එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප් හමුවී ‘බේරුමක් කරගන්නවා හැර’ උතුරු කොරියා නායකයාට වෙන විකල්පයක් නොතිබුණු බවත් නීතීඥවරයා වැඩි දුරටත් කියා සිටියේය.

කිම් ජොන් උන් ‘දණ ගැස්සීමට’ ජනාධිපති ට්‍රම්ප් සමත් වූ අයුරින්, පලස්තීනය ‘දණ ගැස්වීමට’ ට්‍රම්ප් සමත් වනු ඇති බවත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය වෙනුවෙන් ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාව පිළිගන්නවා හැර පලස්තීනයට වෙන විකල්පයක් නොමැති බවත් රූඩි ගියුලියානී පෙන්වා දුන්නේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවන ‘සාම සමුළුව’ ලබන 12 වැනිදා, සිංගප්පූරුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS