එන්නතක් වෙනුවෙන් ලෝකය එකමුතු වෙන්න ඕනෑ



 

දිනෙන් දින ලොවට තර්ජනයක් වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමේදී, මුළු ලොවම ඒ වෙනුවෙන් එකමුතු වී කටයුතු කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩෝස් ගැබ්‍රියේසිස් අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව අවධාරණය කළේ, ජර්මනියේ බර්ලීන් නුවර ඇරැඹුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තෙදින සමුළුව අමතමිනි. කොරෝනා වයිරස වසංගතය හේතුවෙන්, ගැබ්‍රියේසිස්, මෙම සමුළුවට සහභාගී වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ සිට වීඩියෝ පණිවුඩ හරහාය.

‘රටවල් බොහොමයක් කොරෝනා වයිරසයට එරෙහි එන්නත් නිපදවීමට යොමු වී සිටිනවා. ඒ, සෑම රටක් ම ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඒ ඒ රටවල වැසියන් සුවපත් කර ගැනීම සහ කොරෝනාවලින් ආරක්ෂා කර ගැනීමයි. මේ නිසා එන්නත් නිපදවීම සම්බන්ධයෙන් රට රටවල ඖෂධ නිෂ්පාදන සමාගම් අතරේ තරගයක් පවතිනවා. එසේ විය යුතු නැහැ. කොරෝනා වයිරස වසංගත ගෝලීය වසංගතයක්. එන්නත් නිපදවීම සම්බන්ධයෙන් මුළු ලොවම එකමුතු විය යුතුයි. එක ස්ථාවරයක කටයුතු කළ යුතුයි. කොරෝනා වසංගතය හමුවේ ජයග්‍රහණයක් ලැබීමට නම් කළ යුතු එකම දේ එයයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩෝස් ගැබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

මේ වනවිට ලෝකයේ කොරෝනා වයිරසෙ ආසාදිතයන් ගණන 43,323,383 කි. ලෝකයේ සමස්ත මරණ වර්තා වන්නේ 1,158,807 ක් ලෙසිණි. තවමත් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකවෙනි. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 8,889,179 කි. මරණ වාර්තා වන්නේ 2,30,510 ක් ලෙසිණි.

බර්ලීනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS