එක් මාත්‍රාවක එන්නතක් එයි



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත හිතුවාටත් වඩා සාර්ථක බවත්, එය එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවත් සිදු කළ අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත සාර්ථක බව ලොවට පැවැසුවේ, ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. ඇමෙරිකාව තුළ ඖෂධ නිර්දේශ කිරීම සහ බෙදා හැරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. ඒ අනුව ඉදිරියේ දී හදිසි භාවිතයට එන්නත සුදුසු යැයි ද ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිර්දේශ කර තිබේ.

ඉදිරියේ දී ඇමෙරිකානුවන්ට ලැබෙන තෙවැනි එන්නත වන්නේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගමේ මෙම එන්නතය. මේ වනවිට ඇමෙරිකානුවන්ට ලැබෙන්නේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යන සමාගම් නිපදවූ එන්නත්ය. සියයට 95 කට වඩා සාර්ථක යැයි පැවැසෙන ‘ෆයිසර්’ එන්නත ලොව රටවල් රැසක භාවිතයට ගැනෙයි.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම නිපදවා ඇති එන්නත ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට වඩා වෙනස් වන අතර එය මිලෙන් ද අඩු යැයි පැවැසෙයි. එන්නත ගබඩා කිරීම ද පහසු බව පැවැසෙයි.

සෙල්සියස් අංශක රින 20 ක් යටතේ එන්නත වසර දෙකක් ගබඩා කර තබා ගැනීම කළ හැකිය. සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක් යටතේ සාමාන්‍ය නිවසේ ශීතකරණයක පවා මාස 3 ක් ගබඩා කර තබා ගැනීමට හැකි බව පැවැසෙයි.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම එන්නත ගැන පළමුවෙන් අනාවරණය කළේ පසුගිය ජනවාරි 29 වැනිදාය. ඒ, තෙවැනි අදියරේ මූලික වටයේ සායනික අත්හදා බැලීම් සිදු කරද්දීය.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද සාර්ථකව අඩපණ කරන බව ද තහවුරු වී තිබේ. සායනික අත්හදා බැලීම් සිදුවෙද්දී, එන්නත මිලදී ගෙන හදිසි භාවිතයට යොදා ගත් රට දකුණු අප්‍රිකාවය. එරට වේගයෙන් ව්‍යාප්තවුණු කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට හැකියාව ලැබී තිබෙන බව පැවැසෙයි.

එන්නත ඇණවුම් කර ඇති සෙසු රටවල් වන්නේ මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. මහා බ්‍රිතාන්‍ය එන්නත් මාත්‍රා මිලියන 30 ක් ද, යුරෝපා සංගමය මිලියන 200 ක් ද කැනඩාව මිලියන 38 ක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය මිලියන 500 ක් ද ඇණවුම් කර ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔවුන්ගේ ‘කොවැක්ස්’ එන්නත්කරන වැඩසටහන හරහා තුන්වැනි ලෝකයේ දිළිඳු රටවලට ඉදිරියේ දී ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ලබා දෙනු ඇත. ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහන මේ වනවිටත් ආරම්භ වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානයේ සහාය ඇතිවය. මේ වනවිට ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහන යටතේ ලබා දෙන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS