උතුරු කොරියා නියෝජිතයන් ආපසු කැඳවයි



උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ, කැසොන්ග් දේශසීමා නගරයේ පිහිටුවා ගත් උතුරු සහ දකුණු කොරියා සබඳතා කාර්යාලයෙන් උතුරු කොරියා නියෝජිතයන් ඉවත් කර ගැනීමට උතුරු කොරියානු රජය ඊයේ (22) තීරණය කළේය.

මෙම සබඳතා කාර්යාලයට දකුණු කොරියානු නියෝජිතයන් 20 දෙනකුත් උතුරු කොරියා නියෝජිතයන් 20 දෙනකුත් අනුයුක්ත කර තිබුණි. ඒ, දෙරට අතර සාමය වර්ධනය කර ගැනීමටත්, සබඳතා නැංවීමටත් ය. මෙම කාර්යාලය පිහිටුවනු ලැබුවේ පසුගිය වසරේය.

පසුගිය මාසයේ වියට්නාමයේ හැනොයි නුවරදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පැවැති හමුව අසාර්ථක විය. ඒ, මත ගැටුම් හේතුවෙනි.

කැසොන්ග් දේශසීමා නගරයේ පිහිටි ‘සබඳතා කාර්යාලයෙන්’ තම නියෝජිතයන් ඉවත් කර ගන්නා බව උතුරු කොරියාව දකුණු කොරියාවට දන්වා ඇත්තේ එම ‘අසාර්ථක’ හමුවෙන් පසුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS