ඉම්රාන්ගේ හොඳහිත ඕනෑ නෑ



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ‘හොඳහිත’ ප්‍රතික්ෂේප කරමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානය පාකිස්තාන ගුවන් සීමාව මඟහැර, දිගු ගුවන් ගමනක යෙදෙමින්, කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර පැවැත්වෙන ‘ෂැංග්හායි සහයෝගීතා සමුළුව’ බලා පැමිණි බව ඉන්දීය පුවත් සේවා වාර්තා වාර්තා කළේය.

කිර්ගිස්තානය මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයකි. කිර්ගිස්තානයේ අසල්වැසියන් වන්නේ උස්බෙකිස්තානය, ටජිකිස්තානය සහ චීනයයි. කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය.

ෂැංග්හායි සහයෝගීතා සමුළුව සංවිධානය කරනු ලබන්නේ ‘ෂැංග්හායි සහයෝගීතා සංවිධානය විසිනි. කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානයත්, චීනය සහ රුසියාවත් ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ ආරම්භක සාමාජිකයන්ය.  පාකිස්තානයත් ඉන්දියාවත් මෙම සංවිධානය සමඟ එක් වී ඇත්තේ 2017 දීය.

පසුගිය පෙබරවාරියේ ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ, ඉන්දීය දේශසීමා පොලිස් භටයන් පිරිසක් ඉලක්ක කර ගනිමින්, පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ‘ජායිෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්‍රස්තවාදීහු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.
‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්තයන්ට පාකිස්තාන රජය සහ පාකිස්තාන බුද්ධි අංශ අනුග්‍රහය දක්වනවා යැයි ඉන්දීය රජය චෝදනා කරයි. එම ප්‍රහාරයෙන් දින කීපයක් යද්දී, ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝනය කර, ‘ජායිෂ් ඊ මොහොමද්’ පුහුණු කඳවුරකට පහර දී විනාශ කළේය.

ඉන්දීය ගුවන් හමුදාව තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවක් විය. පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ඉන්දීය ප්‍රහාරක යානා අතර දේශසීමාවට ඉහළින් ගැටුමක් හටගත්තේ මේ අවස්ථාවේදීය.
එහිදී ඉන්දීය ප්‍රහාරක යානයක් පහර දී බිම හෙලා එහි නියමුවා අල්ලා ගැනීමට පාකිස්තානුවෝ කටයුතු කළහ. කෙසේ නමුත් දෙරට අතර හටගත් යුද උණුසුම පහවී ගියේ, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මැදිහත් වී, අල්ලා ගත් එම නියමුවා වහා ඉන්දියාවට බාරදීමෙන් පසුවය. එම සිදුවීම් මුල්කොට ගනිමින් පාකිස්තාන රජය ඔවුන්ගේ ගුවන් කලාපය ඉන්දියාවට තහනම් කළේය.

සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය අගමැති මෝදි සහභාගී වන පළමු ජාත්‍යන්තර සමුළුව ලෙස ෂැංග්හායි සහයෝගීතා සමුළුව හැඳින්විය හැකිය.

සමුළුවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද සහභාගී වෙයි. ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡා පවත්වා දෙරට අතර සාමය ස්ථාපිත කර ගැනීමට ඉම්රාන්ට අවශ්‍ය වී තිබේ. අවස්ථා කිහිපයකදී පාකිස්තාන අගමැති, ඉන්දීය අගමැති මෝදිට ලිපි යොමු කළේ දෙරට අතර සාමය වෙනුවෙන් සාකච්ඡා කරන්න පැමිණෙන ලෙසය. අගමැති මෝදි එය ඇරැයුම ප්‍රතික්ෂේප කළේය.

ෂැංග්හායි සහයෝගීතා සමුළුව අතරතුරේ මෝදි සහ ඉම්රාන් අතර හමුවක් පැවැත්වේවි යැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වූ නමුත් එවැනි හමුවක් පැවැත්වෙන්නේ නැතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

පාකිස්කාන ගුවන් කලාපය මඟ හැර කිර්ගිස්තානයට යෑම දිගු ගුවන් ගමනකි. ඉන්දීය රජය මීට දින කීපයකට පෙර කළ ඉල්ලීමකට අනුව, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය දා කියා සිටියේ, ඉන්දියාවට ‘හොඳහිත’ පෙන්වීමක් වශයෙන් ඉන්දීය අගමැති මෝදිගේ ගුවන් යානයට පාකිස්තාන ගුවන් කලාපය හරහා පියාසර කිරීමට අවසර දෙන බවය. කෙසේ නමුත් අගමැති මෝදි එය ද ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, පාකිස්තාන අගමැතිවරයාගේ ‘හොඳහිත’ තමන්ට අවශ්‍ය නොවන බවත්, තමන් වට රවුමකින් කිර්ගිස්තානය බලා යන බවත්ය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS