ඉන්දු චීන දේශසීමා ගැටුම් අවසන්



මාස ගණනක් තිස්සේ පැවැති ඉන්දු චීන දේශසීමා අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කර ගැනීමට හැකිවුණැයි ඉන්දු චීන විදෙස් අමාත්‍යවරු පවසති.

ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ චීන විදේශ ඇමැති වංග් යී එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූයේ රුසියාවේ මොස්කව් නුවරදීය. ඒ, මොස්කව් නුවර ඇරැඹුණු ‘ෂැංග්හායි සහයෝගීතා සමුළුවට’ සහභාගී වූ අවස්ථාවේදීය.

එදිරිවාදිකම් පසෙකලා දේශසීමා සොල්දාදුවන් අතරේ හටගත් අර්බුදය විසඳා ගත් බව විදේශ ඇමැතිවරු දෙදෙනා පසුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.

දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාවත් චීනයත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය ජූනි මාසයේය. එම අවස්ථාවේදී, ලඩාක් පළාතේ ඉන්දු චීන දේශසීමාවේ, දේශසීමා උල්ලංඝනය කළේ යැයි ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරේ ගුටි පැට හුවමාරුවක් සිදුවිය.

චීනය අති දක්ෂ ආත්මාරක්ෂක සටන්කරුවන් එම ගුටිබැට හුවමාරුවට යොදවා සිටි අතර, ඔවුන්ගේ පහර කෑමට ලක්වීමෙන් ඉන්දීය සොල්දාදුවෝ 20 ක් ජීවිතක්ෂයට පත් වූහ.

හටගත් එම අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය සහ චීන හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්වූ නමුත් ඒවා සාර්ථක නොවිණි.

පසුගිය 8 වැනිදා, වසර 45 කට පසු ඉන්දු චීන දේශසීමාවේ වෙඩි හුවමාරුවක් පවා සිදුවිය. එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. වෙඩි තැබීම සිදුවුණු අවස්ථාවේදී ඉන්දියාව චෝදනා කළේ චීන දේශසීමා සොල්දාදුවන් ඉන්දියාවට පැමිණි බවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS