ඉන්දීය කඳවුරකට ප්‍රහාරයක්



ඉන්දු කාශ්මීරයේ දේශසීමා හමුදා කඳවුරකට ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් කඩා වැදී කළ පහරදීමකින් ඉන්දීය හමුදා සෙබළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන හතරකි.

එම හමුදා කඳවුර පිහිටා ඇත්තේ ශ්‍රී නගර් නුවරට සහ එහි ගුවන්තොටුපොළට නුදුරිනි. ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ අධි බැලති පුපුරන ද්‍රව්‍ය ද සමගිනි.

ත්‍රස්තවාදීන් වෙඩි වරුසාවක් එල්ල කරමින් හමුදා කඳවුරට කඩා වැදුණේ අලුයම 4.30 ට පමණ යැයි ද පැවැසෙයි.
ප්‍රහාරයේ වගකීම පාකිස්තාන ‘ෆසාල් ගුරු’ නමැති කල්ලිය විසින් බාර ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි. මෙම ත්‍රස්ත කල්ලිය ජෙයිෂ් ඊ මොහොමද්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කල්ලියකි.

ත්‍රස්තවාදීන් වෙඩි තබමින් බෝම්බ පුපුරුවා ගනිමින්, කඳවුරට කඩා වැදුණු අවස්ථාවේදී ඉන්දීය හමුදා සොල්ලාදුවන් සහ ත්‍රස්තවාදීන් අතර දරුණු අවි ගැටුමක් හටගත්තේය. ඊයේ උදෑසන වනතුරුම එම අවි ගැටුම පැවැති බව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති රාජ්නාත් සිං පවසයි.

කඳවුරට පහර දීමට ත්‍රස්තවාදීන් 12 දෙනකු පමණ පැමිණි බව ඇතැම් ඉන්දීය පුවත් සේවා පවසයි. පහර දීමෙන් පසු පලාගිය ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව ද වාර්තා වේ. හමුදාව කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS