ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ සඳ බලා ගමන් අරඹයි



පෘථිවි කක්ෂයට විදිනු ලැබීමෙන් පසු, දින 22 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ රොබෝ ගවේෂණ යානය අද (14) ඉන්දියාවේ වේලාවෙන් අලුයම 2.21 ට, සඳ බලා ගමන් ආරම්භ කළේය.

‘චන්ද්‍රයාන් 2’ යනු ඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුමය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට යානා 3 ක් ඇතුළත්ය. එයින් යානා දෙකක් සඳ මත පතිත කෙරේ. තෙවැනි යානය සඳුගේ කක්ෂයේ රැඳී සිටිනු ඇත. ඒ, සඳ මත පතිත කරවන යානා ලබා දෙන සංඥා ආපසු පෘථිවියට එවීමට අතරමැදියෙකු වශයෙනි.

‘චන්ද්‍රයාන් 2’ උඩු ගුවනට විදීම සිදුවූයේ පසුගිය ජූලි 22 වැනිදාය. එය පෘථිවි කක්ෂයට විදීම සිදුවූයේ ඉන්දියාවේ නිෂ්පාදිත බාහුබලී රොකට්ටුවෙනි. පෘථිවි කක්ෂයේ දින 22 ක් කැරැකී, නියමිත මඟ සොයා ගැනීමත් නියමිත වේගය ළං කර ගැනීමත් සමඟ ඊයේ අලුයම ගවේෂණ යානය සඳ බලා ගියේ යැයි ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘චන්ද්‍රයාන් 2’ මුළුමනින්ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද්දකි. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ සඳ මතුපිට ජල අංශු කොතරම් ප්‍රමාණයක් තිබෙනවාදැයි සෙවීමය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS