ඉන්දියාවේ නව පුරවැසි පනතට විරෝධය



පාකිස්තානයෙන්, ඇෆ්ගනිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් මීට කලකට ඉහතදී ඉන්දියාවට පැමිණ පදිංචි වී සිටින, මුස්ලිම් නොවන අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබා දීමේ නව පනත් කෙටුම්පතක් ඊයේ (11) ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ආන්දෝලනයට හේතුවක් වූ මෙම පුරවැසි පනත් කෙටුම්පත මීට පෙර ලෝක් සභාවට (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට අනුමැතිය හිමිවිය. ඊයේ (11) එය  ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවට ඉදිරිපත් කෙරුණු අතර රාජ්‍ය සභාවේ අනුමැතිය ද ඊට හිමිවිය. රාජ්‍ය සභාවේ පැවැති ඡන්ද විමසුමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 125 ක් හිමිවිය. විරුද්ධව හිමිවූයේ ඡන්ද 105 ක් පමණි.

සම්මත වූ නව පනතට අනුව, 2014 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර, ඉන්දියාවට පැමිණ පදිංචි වූ මුස්ලිම් නොවන වැසියන් සඳහා පුරවැසිභාවය හිමිවන බව ඉන්දීය රජය කියයි.

නව පතන හරහා පුරවැසිභාවය ලබා ගැනීමට හැකිවන්නේ හින්දු, බෞද්ධ, ජෛන, සීක්, ක්‍රිස්තියානි සංක්‍රමණිකයක්ට පමණි. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල්ය.     මෙම රටවලින් ඉන්දියාවට පලා ආ මුස්ලිම් නොවන සංක්‍රමණිකයන් ආගමික වශයෙන් වධ හිංසනයන්ට ලක් වුණු අය යැයි ඉන්දීය රජය පැහැදිලි කර තිබේ. එසේ පැමිණි පිරිස් සඳහා ආරක්ෂිත භූමියක් නිර්මාණය කර දීම සඳහා පනත් කෙටුම්පත සකස් කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිං මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

සම්මත කෙරුණු නව පුරවැසි පනත සම්බන්ධයෙන්,  අද (12) බංග්ලාදේශ දේශසීමාවට නුදුරින් පිහිටි ඉන්දීය ප්‍රාන්ත කීපයක විරෝධතා හටගත්තේය. අසෑම් ප්‍රාන්තයේ දරුණු ගැටුම් හටගත් අතර කලහකාරී පිරිස් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේ, නව පනත මගින් ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇති බවය.  මෙය මුස්ලිම් විරෝධී පනතක් නොවන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

නව පුරවැසි පනත ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ සිටින දෙමළ සුළු ජාතිකයන්ට අදාල නොවන්නේ ඇයිදැයි දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළුවකු මෙන්ම දේශපාලනඥයකු ද වන කමල් හසන් ඉන්දීය රජයෙන් විමසා ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS