ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෝ මිලියන 9 ක්



ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට මිලියන 9 පසු කර තිබේ. ඒ, අද (20) එරටින් නව ආසාදිතයන් 45,000 ක් හමුවීමත් සමඟය.

පසුගිය පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ මරණ ගණන 584 කි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත මරණ 1,32,162 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් ලොව පළමු ස්ථානයේ ඇත්තේ ඇමෙරිකාව වන අතර මරණ අතින් ලොව දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි.

ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්තයක් වන්නේ නවදිල්ලි අගනුවර පිහිටි දිල්ලියයි. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණ ඇතිව දිල්ලි බලධාරීන් මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයන්ගෙන් ඉන්දීය රුපියල් 2,000 ක දඩ මුදලක් ද අය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

දිල්ලි ප්‍රාන්තයේ බලය ඇත්තේ ‘ආම් ආද්මී’ පක්ෂය සතුවය. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු මෙන්ම දිල්ලි මහ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ, වයිරස ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවුවහොත්, මාර්තු මාසයේ කළාක් මෙන් යළි දිල්ලිය ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බවය. දිල්ලියේ ජනගහනය මිලියන 20 කි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS