ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සමුළුව අමතයි



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවලට සහාය දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව එම කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඉකුත් දා (22) ආරම්භ විය.

ඇන්තනි බ්ලින්කන්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ පළමු අවස්ථාව මෙය විය.

‘‘සිරියාවේ සහ උතුරු කොරියාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ශ්‍රී ලංකාවේ අතීත වධහිංසාවලට අදාළ වගවීමක් නොමැතිකම, දකුණු සුඩානය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවලට සහාය දීමට අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිගන්වනවා’’ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවැසීය.

හෙතෙම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.

සාමයට සහ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය බැවින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය විදේශ ප්‍රතිපත්තියේදී ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට ප්‍රමුඛත්වය දෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීය.

 ඇමෙරිකා එක්සත් ජනපදය 2022-2024 ධුර කාලය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තේරී පත්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාතී සහ අසාර්ථක යැයි චෝදනා කරමින් ඇමෙරිකාව එම කවුන්සිලයෙන් ඉවත් කරගැනීමට එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ දී පියවර ගත්තේ ය.

මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ආරක්ෂා කරන දේශපාලන පක්ෂපාතීකම්වලින් පිරුණු වැසිකිළි වළක් යැයි ද එම කවුන්සිලයෙන් ඉවත් වන අවස්ථාවේදී එවකට එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිනි නිකී හේලී ප්‍රකාශ කළාය.

(රොයිටර්)


RECOMMEND POSTS