ආරක්ෂක මණ්ඩලයේ විවාදයක්



වෙනිසියුලා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ විවාදයක් පැවැත්වීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කළ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

විවාදයක් පැවැත්වීමට තමන්ට අවසර දෙන්නැයි වෙනිසියුලා ජනාධිපති මදුරෝ ඉල්ලා සිටියේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මදුරෝ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පමණක් නොව, යුරෝපා සංගමය සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් මදුරෝගේ පාලනයට විරෝධය පළ කර ඇත. යුරෝපා සංගමය පවසා ඇත්තේ වෙනිසියුලාවේ යළිත් වරක් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවය.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය වසර අවසානයේ පැවැත්වුණු අතර, එයින් නිකලස් මදුරෝ පහසුවෙන් ජය ගත්තේය. ඔහු යළි ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය 10 වැනිදාය. එම ජනාධිපතිවරණය සිදුවූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස මර්දනයට ලක් කරමින්ය.

වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, අන්තර්වාර ජනාධිපති ලෙස විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ නම් කර ඇත. වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති යුඅයිඩෝ බව තමන් පිළිගන්නා බවත්, වෙනිසියුලා විපක්ෂ සන්ධානයට තම සහාය නොඅඩුව හිමිවන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් දෙපලක් වන රුසියාව සහ චීනය පවසා ඇත්තේ තමන් වෙනිසියුලා ජනාධපති මදුරෝට සහාය දක්වන බවය. අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, වෙනිසියුලා රජයට බලපෑම් කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවලට ඉඩ ලබා නොදෙන බව ද රුසියාව සහ චීනය අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS