අයෝධ්‍යා දෙවොල ඉදිකරන්න අවසර



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆයිසාබාද් දිස්ත්‍රික්කයේ අයෝධ්‍යා නුවර, බාබ්රී මුස්ලිම් පල්ලිය තිබූ ස්ථානයේ හින්දු දෙවොලක් ඉදිකිරීමට අයෝධ්‍යා හින්දු භක්තිකයන් කළ ඉල්ලීමට ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (9) අවසර ලබා දුන්නේය.

සියවස් හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවැති බාබ්රී මුස්ලිම් පල්ලිය කඩා බිඳ විනාශ කිරීම සිදුවූයේ 1992 වසරේදීය. පල්ලිය පිහිටි භූමිය තමන්ට අයත් භූමියක් බව පෙන්වා දෙමින්, එහි රාම දෙවොලක් ඉදිකිරීමට ආයෝධ්‍යා හින්දු වැසියන් උත්සහ කළ නමුත් මුස්ලිම්වරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. දෙවොල ඉදිකිරීමේ අර්බුදය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග ගියේ ඒ අනුවය.

අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මුස්ලිම් පල්ලිය පිහිටි භූමියේ රාම දෙවොලක් ඉදි කිරීමට හින්දු වැසියන්ට අවසර ලබා දෙන බවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය කිසිදු පාර්ශ්වයකට ජයග්‍රහණවයක් හෝ පරාජයක් නොවන බවය. හින්දු ජාතිකවාදීන් පෙන්වා දී ඇත්තේ අයෝධ්‍යා දෙවොල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් බවය.

කෙසේ නමුත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මුස්ලිම් දේශපාලන නායක අසසුදීන් ඔවයිසි පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවය. අයෝධ්‍යා සුන්නි මුස්ලිම් ප්‍රජාව ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළ කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මුස්ලිම් පල්ලියක් ඉදිකිරිමට විකල්ප තැනක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති නමුත්, අයෝධ්‍යා මුස්ලිස් ප්‍රජාව පවසා ඇත්තේ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය ඒ සඳහා අවශ්‍ය නොවන බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS