‘ෆැක්සායි’ ටෝකියෝ කලඹයි



පැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ‘ෆැක්සායි’ සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ අගනුවරට කඩා වැදුණි.

මෑත කාලයේ ටෝකියෝ අගනුවරට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය යැයි ජපාන පුවත් සේවා වාර්තා කරයි. තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇති බවත් විදුලි බල සැපැයුමට බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ.

නිවාස 90,000 කට විදුලි බලය අහිමි වී ඇති බවත් ටෝකියෝ අගනුවර ගමන් බිමන් මුළුමනින්ම අඩපණ වී ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම් කළ අවස්ථාවේදී පාසල් සහ කාර්යාල සියල්ල වසා දැමුණි.

ගුවන් යානා 130 ක් අවලංගු කිරීමටත්, දුම්රිය ගමන් සියල්ල නවතා දැමීමටත් ටෝකියෝ බලධාරීහු කටයුතු කළහ. සුළි කුණාටුවෙන් කනගාවා, ෂිසෝකා පළාත්වලට ද හානි සිදුවී ඇති බවත් 3,90,000 ක පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ. පළාත් රැසක් ජලයෙන් යටවී ගොස් ඇති බව ද පැවැසෙයි.

ජපානයේ එන්.එච්.කේ. ජාතික පුවත් නාළිකාව වාර්තා කළ අන්දමට ‘ෆැක්සායි’ සුළි කුණාටුවෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. විපතට පත් වී නිවාස අහිමිවුණු වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සහන සේවකයන්ට හමුදාවේ ද සහාය හිමිවුණු බව පැවැසෙයි.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS