ශ්‍රී ලංකා තානාපති අක්ත පත්‍ර ප්‍රදානය කරයි



 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම්. පෙරේරා  මහතා ඉකුත් 08 වැනිදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත ප්‍රදානය ක‍ළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ, රජයේ සහ ජනතාවගේ සුභාශිංසන ජනාධිපති ට්‍රම්ප් මහතා වෙත පිරිනැමූ තානාපති පෙරේරා මහතා විශ්වාසය මත පදනම් වූසබඳතා ගොඩනඟා ගැනීමටත්, බහු වාර්ගික, බහු සංස්කෘතික, බහුභාෂික සහ බහු ආගමික දේශයක තිරසර ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකා රජය අඛණ්ඩ කැපවීමකින් කටයුතු කරන බව පැහැදිලි කළේය. වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ජනතාව අතර සම්බන්ධතා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර හා අභ්‍යන්තර සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව එක්සත් ජනපදය සමඟ ශක්තිමත් බහුවිධ සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා රජයටත් එහි ජනතාවටත් වැදගත් අරමුණක් බව ඔහු තවදුරටත් පැවසීය.

වොෂිංටන් නුවරට තානාපති පෙරේරා මහතාපිළිගත් ජනාධිපති ට්‍රම්ප් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බවත් ප්‍රති-ත්‍රස්තවාදය, සමුද්‍රීය හා දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම ආදියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත් අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා හවුල් කැපවීමක නිරත දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම උදෙසා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද එක්සත් ජනපද ජනාධිපතිවරයා  අවධාරණය කළේය.සිවිල් ගැටුමෙන් පසු නිත්‍ය සාමය උදා කරගැනීම පිණිසසංහිඳියාව,වගවීම සහ යුක්තිය  ප්‍රවර්ධනයකිරීම කෙරෙහි  ශ්‍රී ලංකාව දක්වන කැපවීම ඔහුගේප්‍රසාදයට ලක් විය.

නව තානාපතිවරයා, ව්‍යවසායකයකු ලෙස ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලී සිටි ජනාධිපති ට්‍රම්ප් මහතා වෙත පැරණි ලොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික, වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරු උරුමයන් විදහා දක්වන ස්මාරක වන ලෝවාමහාපායේ සහ ජේතවනාරාමයේ  ඡායාරූප දෙකක් තිලිණ කළේය.

පොදු ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමටත් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමටත් තානාපති පෙරේරා මහතා සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ට්‍රම්ප් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS