විමර්ශනයට සහාය දෙන්නේ නෑ



තමාට එරෙහිව ගෙන ඒමට සැරැසෙන දෝෂාභියෝගයට අදාළ විමර්ශන කටයුතුවලට තමන්ගේ හෝ තම පරිපාලනයට සම්බන්ධ කිසිදු නිලධාරියකුගේ හෝ සහාය නොලැබෙනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට පවසා ඇත.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂිභියෝගය ගෙන ඒමට සූදානම් වන්නේ ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකා නැන්සි පෙලෝසි ය. ඒ, ට්‍රම්ප්, 2020 ජනපතිවරණයේ සිය ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇතැයි පැවැසෙන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට ‘මඩ ගැසීම’ සඳහා ජනපති ට්‍රම්ප් විදෙස් නායකයකුගේ සහාය ඉල්ලීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ප්‍රතිවාදී ජෝ බයිඩන් ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලුවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිගෙනි. ඒ අනුව, යුක්රේන රජය මේ වනවිටත් ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවීය. ඒ, බැරැක් ඔබාමා ජනපති ධුරය හොබවද්දීය. බයිඩන්ගේ පුතු හන්ටර්, යුක්රේනයේ ‘බුරිස්මා’ තෙල් සහ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

එම සමාගම දූෂණ වංචා රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල විය. යුක්රේනයේ එදා පැවැති රජය ඒ ගැන විමර්ශන කිරීමට උත්සාහ කළත් ජෝ බයිඩන්ගෙන් ඊට බලපෑම් එල්ල වුණැයි පැවැසෙයි.

පසුගිය ජූලි 25 වැනිදා, ජනාධිපති ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිට ඇමතුමක් දෙමින් බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. ජනපතිවරුන් දෙදෙනාගේ මෙම දුරකතන ඇමතුම ප්‍රසිද්ධියට පත් කළේ ධවල මන්දිරයට සම්බන්ධව රාජකාරි කරන ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරියෙකි.

දෝශාභියෝගයට අදාලව පැවැත්වෙන විමර්ශනයේ දී යුරෝපා සංගමයේ ඇමෙරිකා තානාපති ගෝඞ්න් සොන්ඩන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලයේ) විශේෂ කමිටුවක් සූදානමින් සිටියත් ට්‍රම්ප් ඊට හරස් වී ඇත. ඒ අනුව, ගෝඞ්න් සොන්ඩන් විමර්ශන කමිටුව හමුවේ පෙනී නොසිටි බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS