වයිරසයට බිලිවුණු ගණන 1,369 ක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (13) වනවිට 1,369 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් ගණන 60,329 ක් ලෙස වාර්තා විය.

මියගිය ගණනට වඩා වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස වැඩි බවත් එම සංඛ්‍යාව 5,995 ක් බවත් වාර්තා විය. වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ චීනයේ වූහාන් නුවර සහ වූහාන් නුවර අයත් හුබෙයි පළාතෙනි.

රටවල් 25 කට ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය පැතිර ගොස් ඇති අතර, චීනයෙන් පිට එම රටවලින් පමණක් හමුවුණු ආසාදිතයන් ගණන 175 කි. චීනයෙන් පිට ‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් මරණ වාර්තා වී ඇත්තේ හොංකොං දේශයෙන් සහ පිලිපීනයෙන් පමණි.

ඊයේ (12) වනතුරු සීඝ්‍රයෙන් පැතිරෙන මෙම වයිරසය ‘නව කොරෝනා වයිරසය’ ලෙස හැඳින්විය. එය කොරෝනා වයිරසයක් වීමත්, 2019 දෙසැම්බරයේ ආරම්භවීමත් සැලකිල්ලට ගනිමින්, ‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් වයිරසය හැඳින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ පෙරේදා ය.

මේ වනවිට හොංකොං දේශයෙන් සහ සිංගප්පූරුවෙන් රෝගීන් 50 බැගින් හමුවී ඇතැයි වාර්තා වේ. තායිලන්තයෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ රෝගීන් ගණන 33 කි. දකුණු කොරියාවෙන් රෝගීන් 28 ක් ද, මැලේසියාවෙන් රෝගීන් 18 ක් ද තායිවානයෙන් රෝගීන් 18 ක් ද හමුවී ඇත.

ජර්මනියෙන් ද මේ වනවිට ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 16 ක් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඕස්ටේලියාවෙන් සහ වියට්නාමයෙන් ආසාදිතයන් 15 දෙනා බැගින් හමුවී ඇත.

ඇමෙරිකාවෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ රෝගීන් ගණන 14 කි. වූහාන් නුවර ‘කෝවිඞ් 19’ වයිරසය හිස ඔසවද්දී, ඇමෙරිකාව ද විශේෂ ගුවන් යානා යොදවා, වූහාන් නුවර කොටුවුණු ඇමෙරිකානුවන් ආපසු ඇමෙරිකාවට රැගෙන ගියේය.

දින 14 ක් තිස්සේ ඔවුන් විශේෂ නිරෝධායන කඳවුරක, විශේෂ අධීක්ෂණයක් යටතේ රඳවා තැබුණි. ඇමෙරිකන් වසංගත රෝග පාලන අධිකාරිය පවසා ඇත්තේ, වූහාන් සිට රැගෙන ආ ඇමෙරිකානුවන් කිසිවකුට වයිරසය ආසාදනය වී නොමැති බවය. එහෙයින්, ඔවුන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමෙරිකන් වසංගත රෝග පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS