මූල්‍ය වංචා චෝදනා 7 කට වරදකරු වෙයි



බලතල අයථා ලෙස භාවිත කරමින්, අල්ලස් ගැනීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 7 කට මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වරදකරු විය.

ඒ, ‘වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාද්’ අරමුදලට ලැබුණු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව ක්වාලාලාම්පූර් අගනුවර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදීය. 

ඒ අනුව, අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් මැලේසියා රාජ්‍ය නායකයකු අධිකරණය හමුවේ වරදකරු වුණු පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සෑම චෝදනාවක් සම්බන්ධයෙන් වසර 15 ත් 20 ත් අතර සිරදඬුවම් හිමිවනු ඇතැයි පැවැසෙන අතර, හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවය. එල්ල වූ සියලු චෝදනා හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

නජීබ් රසාක් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2009 සිට 2018 තෙක් කාලයේය. එම කාලයේ, රසාක්, ‘වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාද්’ අරමුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදලක් තම පෞද්ගලික ගිණුමට බැර කර තිබේ.

නඩු විභාගය පැවැත්වෙද්දී, මහාධිකරණය ඉදිරිපිටට රසාක්ගේ ආධාරකරුවෝ එක් රොක් වී සිටියහ. ඒ, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් නොතකමිනි.

ක්වාලාලාම්පූර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS