මාලදිවයිනේදී මෝදිට ඉහළ පිළිගැනීමක්



දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම්දීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  මාලදිවයිනට පැමිණියේය.

මාලදිවයින ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි ප්‍රමුඛ රජයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. අගමැති මෝදි වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

සෝලි මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය වසරේ නොවැම්බරයේය. දිවුරුම්දීමේ අවස්ථාවට විශේෂ අමුත්තා ලෙස ආරාධනා ලැබ පැමිණියේ ඉන්දීය අගමැති මෝදිය.

මැතිවරණයේදී සෝලි කියා සිටියේ තමා ජනපති ධුරයට පත් වුවහොත් ඉන්දියාවට වඩාත් සමීප වන බවය. සෝලි ඉන්දීය හිතවාදියෙකි.

රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා තරකර ගැනීමට ජනාධිපති සෝලි සහ අගමැති මෝදි අතරේ සාකච්ඡා කෙරුණි. ඊට අමතරව, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මාලදිවයින ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ජනප්‍රිය කිරීමට ජනාධිපති සෝලිගේ ඇති සිහිනය සැබෑ කරදීමට ඉන්දියාවේ සහාය හිමිවන බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය.

මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ජනාධිපති සෝලි අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

‘මගේ මිතුරා සෝලි ක්‍රිකට් ලෝලියෙක්. ඔහු ඉන්දීය කණ්ඩායමේ රසිකයෙක්.’ යැයි මාධ්‍ය හමුවේ පවසමින්, ආරම්භ වූ ලෝක කුසලානයට සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් ඇතුළත් ක්‍රිකට් පිත්තක් ද අගමැති මෝදි, මාලදිවයින ජනාධිපතිවරයාට තෑගි කළේය.

මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් සහ පුහුණු කණ්ඩායමක් ඉදිරියේදී මාලදිවයිනට පැමිණෙනු ඇති බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය.

මාලදිවයිනේ ඉහළම ගෞරව සම්මානය වන ‘නිෂාන් ඉසුද්දීන්’ සම්මානය මෝදිට පිරිනැමීමට මාලදිවයින ජනපතිවරයා කටයුතු කළ අතර, සම්මානය පිරිනැමීම සිදුවූයේ මාලේ අගනුවර ජනරජ චතුරස්‍රයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදීය.

සෝලිට පෙර මාලදිවයිනේ ජනාධිපති වූ අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ රජය ඉන්දියාව සමඟ යහපත් සබඳතා පැවැත්වූයේ නැත. යමීන්ගේ රජය ඉන්දියානුවන්ට වීසා ලබා දීම සම්බන්ධයෙන් දැඩි නීති පැනැවීය. ඉන්දියාව සමඟ පැවැති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වී චීනය සමඟ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත්තේය. සෝලි ජනපති ධුරයට පත්වීමෙන් පසු ඒ සියල්ල වෙනස් විය.

මාලේහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS