පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයට 14 ක් බිලි



පාකිස්තානයේ නිරිත දෙසින් පිහිටි ක්වෙටා නුවර හසාර්ගංජී පළාතේ පලතුරු වෙළෙඳපොළක බෝම්බයක් පුපුරා යෑමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 15 කි.

ක්වෙටා පොලිසිය පවසා ඇත්තේ හසාර්ගංජී පළාතේ ෂියා මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගනිමින්, සුන්නි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවය. ප්‍රහාරයෙන් වෙළෙඳ කුටි රැසක් සහ අවට නවතා තැබූ වාහන රැසක් ද විනාශ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාකිස්තානයේ සුළු ජාතික ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් අන්තවාදී සුන්නි මුස්ලිම් කණ්ඩායම් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නිරන්තරයෙන් පුවත් වාර්තා වේ. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැති බව ද පැවැසෙයි.

ක්වෙටාහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS