පරීක්ෂකයන්ගේ නිර්දේශ සැලකිල්ලට ගන්නවා



ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ සැලකිල්ලට ගනමින්, 737 මැක්ස් 8 වර්ගයේ සියලුම ගුවන් යානා ගුවන් ගමන් කටයුතුවලින් ඉවත් කිරීමට තමන් තීරණය කළ බව ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම කියයි.

ලොව අංක එකේ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම පවසන්නේ, තම ගුවන් යානාවල ආරක්ෂාව ගැන බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවය.

ඉතියෝපියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් තමන් ද පරීක්ෂණ පවත්වන බවත්, යානයේ දෝෂයක් සිදුවී ඇති බව පෙනී යන්නේ නම්, එම දෝෂ වහා හඳුනා ගනිමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද බෝයිං සමාගම වෙනුවෙන් එහි ප්‍රධානී ඩෙනිස් මුයිලෙන්බර්ග් මාධ්‍ය හමුවේ පවසා ඇත.

බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා පදවන ඇමෙරිකන් නියමුවන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී මැක්ස් 8 යානා ගැන දෝෂ ඇතැයි පැමිණිලි කර ඇති බව ද පැවැසෙයි. ඒ, යානය ගුවනගත කිරීමේදී ගැටලු ඇති බව පෙන්වා දෙමිනි. අඩි 9,000 ක් තරම් ඉතා ඉහළින් පියාසර කරනවිට යානය පාලන කිරීම අසීරු බව ද නියමුවන් පෙන්වා දී ඇතැයි ද පැවැසෙයි.

බෝයිං සමාගම 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා ලොවට හඳුන්වා දුන්නේ 2017 දීය. අද වනවිට මැක්ස් 8 යානා, ලොව පුරා ගුවන් සේවා රැසක් භාවිතා කරයි.

ඇමෙරිකාවේ සවුත් වෙස්ට්, එයාර් කැනඩා, ඇමෙරිකන් එයාර් ලයින්ස්, චයිනා සදර්න්, නෝර්වේ එයාර්, එයාර් චයිනා, යුරෝපයේ ටීයූඅයි, ඉන්දියාවේ ස්පයිස් ජෙට්, කැනඩාවේ වෙස්ට්ජෙට්, ෆ්ලයි ඩුබායි, චීනයේ හයිනාන් එයාර් ලයින්ස්, තුර්කිෂ් එයාර්ලයින්ස්, ඉන්දුනීසියාවේ ලයන් එයාර්, බ්‍රසීලයේ ලින්හාස් ඒරියාස්, චෙක් ජනරජයේ ස්මාර්ට්විංග්ස්, එරෝසෙක්සිකෝ, සිංගප්පූරුවේ සිල්ක් එයාර්, ඉන්දියාවේ ජෙට් එයාර්වේස්, ආජන්ටිනාවේ එරෝලිනාස්, අයිස්ලැන්ඞ්එයාර්, පෝලන්තයේ එල්ඕටී, ඕමාන් එයාර්, චීනයේ ෂෙන්සෙන්, ඉතියෝපියානු එයාර් ලයින්ස්, කැනඩාවේ සන්විග්, එයාර් ඉටැලි සහ චයිනා ඊස්ටර්න් යන ගුවන් සේවා බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා භාවිතා කරන බවත්, මේ සියලු ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS