ඔටුවන් 10,000 ක් මරන්න සූදානම්



වැඩියෙන් ජලය පානය කිරීම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ වියලි ශුෂ්ක ප‍්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කර ඇත.

ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහන අද (8) ආරම්භ කෙරුණි. ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි.

ඔටුවන් මරා දැමීමට  ඕස්ටේ‍්‍රලියා රජය මෙසේ පියවර ගන්නේ, කැන්යිප් ඇබොරිජින්ල් ප‍්‍රජාව කළ ඉල්ලීමකට අනුවය. ඇබොරිජින්ල් යනු  ඕස්ටේ‍්‍රලියාවේ මුල් පදිංචිකරුවන් එසේත් නැතිනම් එරට ස්වදේශික වැසියන්ය.

ඔටුවන්ට දින ගණනක් ජලය නොමැතිව සිටිය හැකිය. ඒ උන්ගේ මොල්ලියේ තැම්පත්වන මේදය ජල අවශ්‍යතා සපුරන බැවිනි. එසේ වුවත්, ඔටුවන් ජලය පානය කරද්දී, දින ගණනකට සෑහෙන්න වතුර පානය කරයි.

වියලි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින් වැසියන් ජීවත් වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩුවී ඇත. වන සතුන් බොහෝ දෙනකු මේ වනවිට ජලය නෙමැතිව මියගොස් ඇතැයි ද පැවැසෙයි.

ළැව් ගිනිවලට කොටුවීමෙන් මියගොස් ඇතැයි පැවැසෙන  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බව ද  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

සිඞ්නි නුවරදීය (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS