අඟහරුටත් වඩා ඇමෙරිකාව සීතලයි



ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට අඟහරු ග්‍රහලොවටත් වඩා සීතල යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාවේ දැඩි සීතල කාලගුණයක් හටගෙන ඇත්තේ ආක්ටික් කලාපයෙන් හමා ආ සීත සුළං මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව පමණක් නොව කැනඩාව ද දැඩි සීත කාලගුණයකින් බැටකන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය සහ ඒ අවට ජනපදවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක රින 13 කි.
මීට පෙර කිසිම දිනෙක මේ අයුරින් උෂ්ණත්වය අඩු වී, නැති බවත් මෙය වාර්තාගත තත්ත්වයක් බවත් ඇමෙරිකන් කාලගුණ විද්‍යඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. එපමණක් නොව, මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව ද කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

දැඩි සීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ පමණක් නොව කැනඩාවේ ද ප්‍රධාන ගුවන්තොටුපොළ සියල්ල වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇතැයි ද වාර්තා වේ. 

ගුවන්තොටුපොළ වසා දැමීමත් සමඟ දහස් ගණනින් මගීන් ගුවන්තොටුපොළවල කොටු වූහ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ගුවන්තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇතැයි ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා රැසක් වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණු බව ද වාර්තා වේ.

පෙරේදා (6) වඩාත් කාර්යබහුල ගුවන් තොටුපොළක් වන නිව්යෝක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පමණක් ගුවන් යානා 2,500 ක් අවලංගු කෙරුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

කැනඩාවේ ඔන්ටැරියෝ සහ ක්වෙබෙක් ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 50 ට වඩා අඩු වී ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාවටත් කැනඩාවටත් මේ අයුරින් දැඩි සීත කාලගුණයක් ඇති වූයේ ආක්ටික් කලාපයෙන් පැමිණි හිම කුණාටු නිසා යැයි ද පැවැසෙයි. අනපේක්ෂිතව කඩා වැදුණු මෙම හිම කුණාටුව කාලගුණ විද්‍යාඥයන් නම් කර ඇත්තේ ‘බෝම්බ සුළිකුණාටුව’ යන නමිනි. අධික සීතල හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සිට විස්කොන්සින් ජනපදය දක්වා මරණ 19 ක් වාර්තා වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS