සිරියානු සිත්තරෝ



පලස්තීන සරණාගතයන් වෙනුවෙන් තිබෙන සිරියාවේ යාර්මුක් කඳවුරේ පිහිටි තම නිවසට මදක් ඔබ්බෙන් පිහිටි කැන්වසයක් මත රතු පැහැ තීන්ත අතුරන්නේ ලොව අනෙක් තරුණයන් මෙන්ම හොඳ ජීවිතයක් පතන 21 හැවිරිදි වියේ පසුවන අබ්දලා අල් හරිත්ය.

කලකදී ඉතා කාර්යබහුල හා ජනාකීර්ණ නගරයක් වූ සිරියාවේ ඩැමැස්කස් අගනුවර අද වනවිට අත්හැර දමන ලද නගරයක් බවට පත්ව තිබේ. වසර හතක යුද්ධයකින් පසු සුන්බුන් පිරුණු ඩැමැස්කස් අගනුවරට පසුගිය සතියේදී කලාකරුවෝ 12 දෙනෙක් එක්වූහ. අල් හරිත් ද ඔවුන් අතර විය.

වසර ගණනක බෝම්බ ප්‍රහාරවලින් විනාශ විය ගිය තම නිවෙස්, තම මිතුරන්, විනාශයට පත්වූ තම ජීවිත නිසා ඇති වූ වේදනාව කලාවට පරිවර්තනය කිරීමේ අරමුණින් පැන්සල් හා පින්සල්වලින් සන්නද්ධව ඔවුහු එලෙස ඩැමැස්කස් අගනුවරට එක්වූහ.

“අපි ජීවිතය නැවත අඳුරු තැනකට ගෙන එනවා” වසර කිහිපයකට යාර්මුක් අත්හර පලා ගිය හරිත් පැවැසීය. පසුගිය මැයි මාසයේදී දායීෂ් ජිහාද්වාදීන්ගෙන් ඩැමැස්කස් නුවර මුදා ගැනීමෙන් පසු හරිත් නැවතත් තම ගම් බිම් බලා පැමිණ සිටී.
“මම නැවත කඳවුරට ආවාම මගේ පපුව හිරවුණා. අඳින්නේ මොනවද කියලා මට හිතාගන්න බැරි වුණා” චිත්‍ර ඇඳීමට ඩැමැස්කස් වෙත පැමිණි කලා ශිෂ්‍යයෙක් පැවැසීය.

“එහෙත් සියල්ල විනාශ වී ගිය තැනක ජීවිතය ගැන පුංචිම හරි බලාපොරොත්තුවක් ඉතිරි වෙලා තියෙනවා කියලා මට තේරුම් ගියා. එය ජයග්‍රහණයක්” තමන් වටා තිබෙන විනාශ වී ගිය ගොඩනැගිලි පෙන්වමින් ඔහු කීවේය.
ඔහු සහ ඔහුගේ මිතුරෝ සුන්බුන් මධ්‍යයේ සිතුවම් නිමවීමේ යෙදුණාහ.

යුද්ධයට පෙර යාර්මුක් හි 160,000කට වැඩි පිරිසක් ජීවත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
පලස්තීන සරණාගතයන් වෙනුවෙන් 1957 දී ස්ථාපිත කරන මෙම කඳවුර කාලයත් සමඟ ඩැමැස්කස් අගනුවරම කොටසක් බවට පත්විය.

එහෙත් අද යාර්මුක් අත්හැර දමන ලද නගරයක් බවට පත්ව තිබේ. රෙජීමය සහ කැරැලිකරුවන් අතර 2012 දී ඇති වූ ගැටුම් හේතුවෙන් නිවැසියන් 140,000කට පිරිසක් යාර්මුක් අත්හැර පලාගොස් ඇත.

මීට වසර හතරකට පෙර එනම් 2014 වසරේදී ප්‍රසිද්ධියට පත්වූ ඡායාරූපයක් නිසා ඩැමැස්කස්හි යාර්මූක් කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු විය. යාර්මුක් පදිංචිකරුවන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්විය. ඔවුන් සුන්බුන් අතරින් ඉදිරියට යන අයුරු එහි දැක්විණි.

මේ වසරේ මුලදී රජයට හිතවත් පාර්ශව සහ ජිහාද්වාදීන් අතර ගැටුම් උත්සන්න විය. එම නිසා ඉතිරි පදිංචිකරුවන්ට ද උන්හිටි තැන් අහිමි විය.

කෙසේ නමුත් පසුගිය මැයි මාසයේදී බෂාර් අල් අසාද්ගේ හමුදා ඩැමැස්කස් හි පාලනය තමන් අතට ගත්තේය.

සිතුවම් ඇඳීමට එක්වූ 22 හැවිරිදි හිනයා කෙබාබි සිතුවට නැගුවේ ඇසක් අහිමි පිරිමි දරුවෙකි. ඇසක් අහිමි එම දරුවා අඳින ලද ඇසක් තම අහිමි ඇස ඉදිරියෙන් තබාගෙන සිටින අයුරු එහි දැක්වේ.

“එක දවසක, මිනිස්සු මෙහි ඒවා. ඔවුන් වර්ණ රැගෙන ඒවා. සුන්බුන් නෙමෙයි, ඔවුන් මේ නගරය වර්ණවත් කරාවි” යැයි කෙබාබි කීවාය.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS