මිහිපිට අපායක් වූ රැඳවුම් කඳවුරු



සිරියාවේ සහ ඉරාකයේ රැඳවුම් කඳවුරුවල තත්ත්වය එන්න එන්නම බරපතළ වෙමින් තිබෙන බවත් ඒවායේ තත්ත්වය ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට නැවත පණ නගා පැමිණ ප්‍රහාර එල්ල කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ප්‍රධාන පෙළේ හිටපු ආරක්ෂක නිලධාරීහු පිරිසක් අනතුරු අඟවති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හිටපු ජාතික ආරක්ෂක නිලධාරීන් පිරිසක් විවෘත ලිපියක් යවමින් එලෙස අනතුරු අඟවා ඇත. බටහිර රටවල් සිර කඳවුරු හා රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ඔවුන්ගේ පුරවැසියන් නැවත ගෙන්වා ගත යුතු බවත් මේ කඳවුරුවල සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම නිලධාරීන් සඳහන් කර ඇත. එසේ නොකළ හොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 18 වැනි සැමරුම බදාදාට යෙදී තිබූ අතර මෙම විවෘත ලිපිය නිකුත් කර ඇත්තේ ද එදිනය. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. අල්කයිඩා සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින් ඒවා ගොඩනැගිලිවලට කඩා වැදීමට සැලැස්වීමෙන් මෙම ප්‍රහාරය එල්ල කළේය.

එක්සත් රාජධානියේ ‘එම්.අයි.6’ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානීන් ඇතු-ළු ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම විවෘත ලිපිය යවා ඇත.

ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සිරියාවේ අල්-හොල් කඳවුරටය. මෙම කඳවුරේ 68,000කට ආසන්න පිරිසක් සිටින අතර අයි.එස්. සටන්කාමීන්ගේ බිරින්ඳෑවරු සහ දරුවෝද එහි වෙති. ඔවුන්ට අමතරව ගැටුම්වලින් අවතැන්වූවෝද එහි සිටිති. අල්-හොල් කඳවුරේ තත්ත්වය ඛේදවාචකයක් යැයි ද විවෘත ලිපිය යැවූ ආරක්ෂක විශේෂඥයෝ පෙන්වාදෙති.

බ්‍රිතාන්‍යයේ ෂමීමා බීගම් තරුණිය සිටින්නේ ද අල්-හොල් කඳවුරේය. ඇය වයස අවුරුදු 15 දී අයි.එස්. සංවිධානයට සම්බන්ධ වීම සඳහා එක්සත් රාජධානිය අත්හැර සිරියාවට පැමිණියාය. එහෙත් පසුගිය පෙබරවාරි මාසය වනවිට ඇය ගැබ්බර වූවාය. එමෙන්ම ඇයට නැවත සිය රටට පැමිණීමට අවශ්‍ය බව ද සඳහන් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් ද ඇතිවිය.

බොහෝ බටහිර රටවල් අයි.එස්. සංවිධානයට සම්බන්ධ වීම සඳහා එම රටවල් අත්හැර සිරියාවට සහ ඉරාකයට පැමිණි පිරිස් නැවත බාරගැනීම ප්‍රතික්ෂේප කළේය. ඇතැම් රටවල් අයි.එස්. සංවිධානයට සම්බන්ධ වීම සඳහා සිරියාවට සහ ඉරාකයට ගිය පිරිස්වල පුරවැසිභාවය ද ඉවත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අල්-හොල් කඳවුරේ සිටින සියයට 14ක් එනම් 9,500කට වැඩි පිරිසක් විදේශිකයෝය.

රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින තුනෙන් දෙකකට ආසන්න පිරිසක් වයස අවුරුදු 12ට අඩු යැයි ද ආරක්ෂක විශේෂඥයන් යැවූ ලිපියේ සඳහන් වේ.

“ත්‍රස්තවාදීන්ට මහ අනුකම්පාවක් ආකර්ෂණය විය යුතු යැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. රැඳවුම්භාරයේ සිටින බොහෝ දෙනා ත්‍රස්තවාදීන් නෙමෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා දරුවන්” යැයි එම ලිපියේ සඳහන් වේ. “අල්-හොල් හි සිටින දරුවන් දිනපතා මිය යනවා. මන්දපෝෂණයෙන් සහ හයිපතමියා (දැඩි සීතලට ඔරොත්තු නොදීමෙන්) නිසා දරුවන් මිය යනවා. දරුවන්ට අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. දරුවන්ට උපදේශන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කඳවුරු ඇතුළේ අන්තවාදය බහුලව තිබෙනවා” යැයි එම ලිපියේ සඳහන් වේ. 

තලේබාන්, අල් කයිඩා සහ අයි.එස්. සංවිධානයට ප්‍රමුඛස්ථානයක් ලැබුණේ සහ ඔවුන් ශක්තිමත් වූයේ ඉහත මෙම කරුණු නිසා යැයි ලිපියට අත්සන් තැබූ හිටපු ආරක්ෂක ප්‍රධානීහු පෙන්වාදෙති.
“තලේබාන් සංවිධානයේ සාමාජිකයන් බවට පත්වූයේ, විශේෂයෙන්ම සාරය බවට පත්වූයේ පාකිස්තානයේ සරණාගත කඳවුරුවල තිබුණු අන්තවාදී මද්‍රසාවල ඉගෙනුම ලැබු සිසුන්. අල්-හොල් හි තත්ත්වයත් ඊට බොහෝ සමානයි. ඒ වගේම, අරාබි රටවල් කිහිපයක්ම ඇෆ්ගනිස්තානයේදී සෝවියට් හමුදාවලට එරෙහිව සටන් වැදුණු තම පුරවැසියන්ට නැවත ඔවුන්ට රටවල පැමිණිට ඉඩ දුන්නේ ද නැහැ” යැයි ද එම ලිපියේ සඳහන් වේ.

“පසුකාලීනව, විශේෂයෙන්ම 2003 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව සලාෆි ජිහාද්වාදීන් සහ බාත් පක්ෂයේ සාමාජිකයන් දීර්ඝ කාලයක් එකට රැඳවුම් භාරයේ තැබුණා. අයි.එස්.අයි.එස්. සංවිධානය නිර්මාණයට බලපෑම ප්‍රධාන සහ මූලික හේතුවලින් එකක් වූයේ එය”   ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හිටපු ජාතික ආරක්ෂක නිලධාරීන් යැවූ එම විවෘත ලිපියේ එසේ ද සඳහන් වේ.

අල්-හොල් කඳවුරේ සහ අනෙකුත් කඳවුරුවල සිටින තමන්ගේ රටවලට අයත් පුරවැසියන් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මෙම ආරක්ෂක විශේෂඥයන් ඔවුන්ගේ ලිපියෙන් අවධාරණය කරමින් බටහිර රටවලින් ඉල්ලා ඇත. එමෙන්ම ඔවුන්ගේ පුරවැසියන් සිය රටවලට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීති සකසමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ ඔවුන් පුනරුත්ථාපනය කිරීමට හෝ අවශ්‍ය පියවර ගන්නැයි ද හිටපු ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලා ඇත.

“සටන්කාමීන් සහ ඔවුන්ගේ අනුගාමික පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් දේශප්‍රේමීන් නොව ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන් බව අනාවරණය කිරීමට බටහිර රටවලට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවලට යුක්තිය හා සාධාරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි බව පෙන්වීමට ද අවස්ථාවක් ද උදා වෙනවා” යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
එම්.ඊ.අයි. ඇසුරිනි


RECOMMEND POSTS