චීනයෙන් තවත් ලෙඩක්: ‘හැන්ටා වයිරස්’



චීනයේ බසයක් තුළ ගමන් කරමින් සිටි පුද්ගලයකු හිටිහැටියේ ඇද වැටී මියගිය බවටත්, එම පුද්ගලයාට ‘හැන්ටා’ නමැති නව වයිරසයක් ආසාදනය වී ඇති බව අනාවරණය වූ බවටත්, ඒ අනුව, චීනයෙන් තවත් නව වයිරසයක් පැතිරීම ආරම්භ වී ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් පවතී.

මෙය අනියත බියක් ඇති කර ගත යුතු කාරණාවක් නොවන බව පළමුවෙන් කිව යුතුය. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මෙන් නොවෙයි, ‘හැන්ටා වයිරස්’ යනු අලුත් වයිරසයක් නොවෙයි.

චීන බස් රියක ගමන් කළ පුද්ගලයකු වයිරසයට ගොදුරු වී සිටි බවත්, ඔහු බස්රියේ ගමන් කරද්දී ඇද වැටී මියගිය බවත් සත්‍යයකි. එම බස් රියේ ගමන් කරමින් සිටි සෙසු පුද්ගලයන් තිස් දෙදෙනකු වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බව ද සත්‍යයකි.

හන්ටා වයිරසයේ රෝග ලක්ෂණ ද කෝවිඞ් 19 රෝග ලක්ෂණවලට සමානය. මේ වනවිට හැන්ටා වයිරස රෝගීන් 39 කට ආසන්න පිරිසක් චීනයෙන් හමුවී ඇත. එය ද සත්‍යයකි.

කෙසේ නමුත් හැන්ටා වයිරසය චීනයේ යම් පළාතක හෝ ගමක වසංගත තත්ත්වයක් බවට පත් වුවත් එය ගෝලීය වසංගතයක් බවට පත් වීමට ඉඩක් නැත. වෛද්‍යවරුන් ඒ බව තහවුරු කර තිබේ.

කලින් සඳහන් කළ ආකාරයට ‘හන්ටා’ යනු අලුත් වයිරසයක් නොවෙයි.

හැන්ටා වයිරසයේ මූලාරම්භය ආසියාවය. මෙය ‘මී උණ’ කි. ආර්.එන්.ඒ. වර්ගයේ වයිරසයකි. ‘බන්යාවිරිඬේ’ නමැති වයිරස පවුලේ සාමාජිකයෙකි. මිනිසුන්ට බෝ වන්නේ මීයන්ගෙනි. මීයන්ගේ මළ මුත්‍රවලිනි.

පළමුවෙන් මෙම හැන්ටා වයිරසය ගැන වාර්තා පළ වන්නේ 1950 දශකයේය. ඒ, ඇමෙරිකන් කොරියන් යුද සමයේදීය. අනාවරණය වූ පරිදි එක්තරා මී විශේෂයකගෙන් මෙම වයිරසය මිනිසුන්ට බෝ වෙයි.

ඉන්පසු මිනිසුන් මිනිසුන් අතරේ වයිරසය බෝවීම සිදුවන්නේ කලාතුරකිනි. කෙසේ නමුත් මිනිසුන්ට ආසාදනය වීමෙන් පසු වයිරසය ‘විකෘතිකරණයට’ ලක් වුවහොත්, එය ඉක්මනින් පැතිරෙයි. එවිට වසංගත තත්ත්වයක් ඇති විය හැකිය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අයත් වන්නේ කොරෝනා වයිරස පවුලටය.

ලුසිත ජයමාන්න
නිව්යෝක් පෝස්ට් ඇසුරිනි


RECOMMEND POSTS