කස්ත්‍රෝලා නැති කියුබාව



කියුබානු විප්ලවයේ වීරයා ෆිදෙල් සහ රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාව බාර ගන්නේ කවුරුන්දැයි යන්න දශක ගණනාවක් තිස්සේ ප්‍රශ්නාර්ථයක් වී තිබුණි. ඒ තැනැත්තා මිගුවෙල් දියාස් කැනෑල් බව දැන් අපි දනිමු.

1960 වසරේ අප්‍රේල් 20 වැනිදා උපන් පසුගිය 20 වැනිදා 57 වැනි උපන් දිනය සමැරූ මිගුවෙල්, කියුබාවේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, එරට උප ජනපති ධුරය හෙබවීය. ඒ, පසුගිය පස් වසරක කාලය පුරාවටය. වැඩි ප්‍රසිද්ධියක් නැතත්, දේශපාලන කරළියේ කැපී පෙනෙන කෘතහස්ත චරිතයක් ලෙස මිගුවෙල් සැළකෙයි.

ඉකුත් 19 වැනිදා ඔහු කියුබාවේ ජනාධිපති ලෙස, ‘කස්ත්‍රෝ’ නම වාසගමට නැති පළමු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ, 2006 වසරේ සිට ජනපති ධුරයේ සිටි 87 රාවුල් කස්ත්‍රෝ ඉන් ඉවත් වීමත් සමඟය. රාවුල්ට කියුබාවේ ජනාධිපති ධුරය හිමිවූයේ වැඩිමල් සොහොයුරු ෆිදෙල් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුණු අවස්ථාවකය. විප්ලවීය නායක ෆිදෙල් අභාවප්‍රාප්ත වූයේ 2016 වසරේදීය. ඒ වනවිට ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය.

ජනපති ධුරයෙන් ඉවත් වුවත්, රාවුල් කස්ත්‍රෝ සෙවනැල්ලක් ලෙස තව දුරටත් මිගුවෙල් පසුපස සිටිනු ඇත. හේතුව, ජනපති මිගුවෙල්ට වගඋත්තර බැඳීමට සිදුවන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂට වීමත්, රාවුල් 2021 තෙක් කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරය දැරීමත් නිසාය.

එහෙයින්, තීන්දු තීරණ ගැනීම මිගුනෙවල් ට තනිවම කළ නොහැකිය. ප්‍රතිපත්ති සකස් කිරීම තව දුරටත් සිදුවන් ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය සහ එහි ජ්‍යෙෂ්ඨයන් හරහාය. එහෙයින් ‘කස්ත්‍රෝ’ වාසගම නැති මිගුවෙල්, ජනපති ධුරයට පත් වුණු සැණින් කියුබාවේ මහා පරිමාණයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

කෙසේ නමුත් කියුබාවට නව ප්‍රතිසංස්කරණ අවශ්‍යය. කියුබාව මේ වනවිට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී. අභියෝග රැසක් නව ජනාධිපති මිගුවෙල් හමුවේ ඇත. ඒ අතරින්, පළමු මෙන්ම ප්‍රධානතම අභියෝගය නම් කියුබාවේ කඩා වැටී ඇති ආර්ථිකය පණ ගැන්වීමය. ඊට අමතරව කියුබාවේ විරැකියාව ද ඉහවහා ගොසිනි. කියුබාවේ පවතින්නේ ද්විත්ව මුදල් පද්ධතියකි. එයින් එකක් දේශීය ගනුදෙනු සඳහා වන අතර අනෙක විදෙස් ගනුදෙනු සහ සංචාරයකන් වෙනුවෙනි. මෙම මුදල් ගනුදෙනු ක්‍රම දෙක එක් කළොත් ආනයනික භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

සුදුසුසකුට ජනපති ධුරය පිරිනමමින්, 2018 වසරේ දී තමන් ධුරයෙන් ඉවත්වෙන බව රාවුල් කස්ත්‍රෝ නිවේදනය කළේ ඉකුත් වසරේය. ඒ වනවිටත් රාවුල් කස්ත්‍රෝ නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබුණි. පෞද්ගලික අංශයේ ගොවීන් වෙනුවෙන් නව කෘෂිකර්ම වැඩපිළිවෙළක් ඔහු හඳුන්වා දී ක්‍රියාවට නැංවීය. ඒ, 2008 වසරේදීය. 2010 දී, කියුබානුවන්ට ඔවුන්ගේම කියා පෞද්ගලික ව්‍යාපාර පිහිටුවා ගැනීමට ඉඩ දුන්නේය. 2011 දී,  කියුබානුවන්ට ඔවුන්ගේ නිවාස විකිණීමට සහ මිලදී ගැනීමට ‘නිවාස වෙළෙඳපොළක්’ පිහිටුවීය. 2013 වසරේ දී, රාවුල් කස්ත්‍රෝ මැදිහත් වී, කියුබානුවන්ට අන්තර් ජාලය වඩාත් සමීප කිරීමේ අරමුණින්, නොමිලේ ‘වයිෆයි’ කලාප පිහිටුවීය. කෙසේ නමුත් රාවුල් කස්ත්‍රෝ හඳුන්වා දුන් එම ප්‍රතිසංස්කරණ කියුබාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2014 වසරේ දී දෛවෝපගත හමුවක් පැවැත්විණි. එම හමුවට පෙරමඟ සකස් කළේ ද ෆිදෙල් කස්ත්‍රෝ සේම තවත් අසහාය ජනතා වීරයෙකි. ඒ, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූයේ 2014 වසරේදී ය. ඔහුට අවසන් ගෞරව දැක්වීමට ෆිදෙල් කස්ත්‍රෝට අවශ්‍ය වී තිබුණ ද අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවුණු බැවින් එය කළ නොහැකි විය. ඒ අනුව, කියුබානු ජනාධිපති ලෙස රාවුල් දකුණු අප්‍රිකාවට ගියේය.

ඇමෙරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණ සිටියේය. ඒ, බැරැක් ඔබාමා ය. ඔබාමා සහ රාවුල් කස්ත්‍රෝ හමු වී ‘කුටුකුටු ගාන’ ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
මාස කිහිපයක් යද්දී, ඔබාමාගේ මැදිහත් වීමෙන් දශක ගණනාවක් තිස්සේ නවතා දැමුණු ඇමෙරිකා කියුබා සබඳතා යළි අලුත් විය. ඇමෙරිකා තානාපති කාර්යාලයක් හවානා නුවර දී පිහිටුවීය. ඇමෙරිකන් සමාගම් කියුබාවේ ආයෝජනවලට යොමු විය. හොලිවුඞ් චිත්‍රපට කියුබාවේ රූගත කෙරුණි. ඇමෙරිකන් සංචාරක නැව් කියුබාවට පැමිණෙන්න විය. කියුබා ඇමෙරිකා මගී ගුවන් සේවා ඇරැඹිණි.

ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා, බිරිඳ මිෂෙල් සහ දියණියන් දෙදෙනා සමඟ කියුබාවේ සංචාරය කළේ කියුබාවට පැමිණි පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසිනි. ෆිදෙල් කස්ත්‍රෝ, ඔබාමා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ද, රාවුල් කස්ත්‍රෝ ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.

එම සංචාරයෙන් පසු ඇමෙරිකාව කියුබාවට පනවා ඇති රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළේය. කෙසේ නමුත්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු ඒ සියල්ල වෙනස් විය. කියුබාවට පැනවා ඇති සම්බාධක ලිහිල් නොකිරීමට ට්‍රම්ප් තීරණය කළේය. කියුබාව දෙස ට්‍රම්ප් බලන්නේ වපර ඇසකිනි. යම් හෙයකින්, ට්‍රම්ප් මෙම තීරණය නොගත්තේ නම්, මිගුවෙල් වෙනුවට වෙනත් අයකු අද කියුබාවේ ජනාධිපතිවරයා වීමට ද ඉඩ ඇත. කියුබා ජනාධිපති මිගුවෙල් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ ‘හිතවත්කම්’ කෙසේ වේවිදැයි යන්න අවිනිශ්චිතය.

මිගුවෙල් දියාස් කැනැල් ජනපති ධුරයට පත් වූයේ කියුබා ජාතික මන්ත්‍රණ සභාවේ ඒකමතික තීරණයට අනුවය. මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 605 දෙනකු සිටින අතර, ඔවුන් හැමෝම මිගුවෙල් ජනපති ධුරයට සුදුසුස්සා යැයි ඒකමතිකව තීරණය කළේ යැයි වාර්තා වේ. ඒ අනුව මිගුවෙල්ට වෙන කිසිම අභියෝගයක් එල්ල වූයේ ද නැත. ‘ධනපති ක්‍රමය යළි කියුබාවේ ස්ථාපිත වේවි යැයි කවුරුන් හෝ සිතනවා නම් ඒක වැරදියි. ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන්න ඉඩ දෙන්නේ නැහැ.’ යැයි ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ දේශනයේ දී මිගුවෙල් අවධාරණය කළේය. ‘කියුබානු විප්ලවය අවසන් නොවනු ඇති බව ද නව ජනාධිපති මිගුවෙල් වැඩි දුරටත් කියා සිටියේය.

1959 වසරේ දී ඇමෙරිකන් හිතවාදී, බැටිස්ටා පාලනය පෙරළා දමා, කියුබානු විප්ලවය මෙහෙයවමින් ජනතාවගේ වීරයා බවට පත් වුණු ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම විප්ලවයට සම්බන්ධ රාවුල් කස්ත්‍රෝ ගැන මිගුවෙල් තුළ ඇත්තේ ගෞරවයකි. මිගුවෙල් උපත ලැබුවේ කියුබානු විප්ලවයෙන් පසු වුවත් කියුබානු විප්ලවය ගැන ඔහුට ඇත්තේ ලොකු පැහැදීමකි. ඔහු රාවුල් කස්ත්‍රෝගේ ‘දකුණු අත’ ලෙස සැළකෙන්නේ ද එහෙයිනි. මිගුවෙල් ඉන්ජිනේරුවෙකි. එපමණක් නොව ගුරුවරයකු ලෙස ද කටයුතු කර ඇත.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS