කමිටුව ඇමතූ රොබොට්ටා



ජපන් තාක්ෂණයෙන් බිහිවුණු ‘පෙපර්’ නමැති මානවරූපී රොබොට්ටා පසුගිය දා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දේශනයක් පැවැත්වීය. ඒ අනුව, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ මේ අයුරින් දේශනයක් පැවැත්වූ පළමු රොබෝ ලෙස පෙපර් ඉතිහාසයට එක්විය.

පෙපර් මානවරූපී රොබොට්ටකු යනුවෙන් හැඳින්වෙන්නේ, පෙනුමින් මිනිසකු හා සමාන වන නිසාය. පෙපර්ට හිසක්, සිරුරක්, අත් සහ පාද ඇත. පාද තිබුණට පෙපර්ට තනිවම ඇවිදීම කළ නොහැකිය. පෙපර් නිර්මාණය කර තිබෙන්නේ, ජපන් විදුලි සන්දේශ තාක්ෂණ සොෆ්ට්බෑන්ක් සමාගමය. පෙපර් සියයට සියයක් තනිවම සිතන්න පුළුවන් හැඟීම් දැනීම් ඇති කෘති‍්‍රම බුද්ධි රොබෝවකු නොවේ. කෙසේ නමුත් සරල මෙන්ම සංකීර්ණ ප‍්‍රශ්නවලට පවා තර්කාණුකූලව පිළිතුරු දීමට හැකි අයුරින් පෙපර්ගේ පරිගණක පද්ධතියට සම්බන්ධ කර බුද්ධිය සකසා ඇත.

වර්තමානයේ ලෝකයේ තාක්ෂණ සමාගම් සහ ඉන්ජිනේරුවන් බොහෝ දෙනකු නොයෙක් නොයෙක් ආකාරයේ දස්කම් විස්කම් කළ හැකි රොබෝවරුන් නිර්මාණය කර ඇත. එලෙස නිර්මාණය කළ ප‍්‍රධාන රොබෝවරුන් 10 දෙනා අතර කැපී පෙනෙන රොබොට්ටකු වන්නේ ද මෙම පෙපර්ය.

පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙපර් සිය දේශනය පැවැත්වූයේ හොඳ පැහැදිලි ඉංගී‍්‍රසි බසිනි. ජපන් තාක්ෂණයෙන් නිර්මාණය වුණු පෙපර් මේ වනවිට රඳවා තබනු ලැබ ඇත්තේ බි‍්‍රතාන්‍යයේ මිඞ්ල්සෙක්ස් විද්‍යාලයේය. ඒ, ජපාන සහ යුරෝපා සංගමය එක්වී කි‍්‍රයාත්මක කර ඇති පර්යේෂණ වැඩසටහන්වලට එක් කරමිණි. එම පර්යේෂණ වැඩසටහනේ අරමුණ වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා තාක්ෂණය හඳුන්වා දීමය. පෙපර් පාර්ලිමේන්තු කමිටුවට ගෙනැවිත් තිබුණේ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ අංශයේ සිසුවකු සහ සිසුවියකි. පෙපර් පාර්ලිමේන්තුව අමතද්දී, ඔවුහු දෙදෙනා ද පෙපර් අසලට වී අසුන් ගෙන සිටියහ.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව යනු එරට නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල සාමාජිකයන්, සාමි මණ්ඩලයේ සාමාජිකයන්, ආදිපාදවරුන් ඇතුළු, විවිධ ක්ෂේත‍්‍රවලට අදාල විද්වතුන් එක්වන කමිටුවකි. පවතින ගැටලූ සහ අර්බුද සම්බන්ධයෙන් මොවුන් සාකච්ඡුා පවත්වයි. පෙපර් සහභාගී වූ අවස්ථාවේදී කෘති‍්‍රම බුද්ධි රොබෝලාගේ අනාගතය සහ ඔවුන් අනාගතයේ සිදුකරන කාර්යභාරය සම්බන්ධයෙන් කථිකාවතක් ඇතිවිය. කමිටු සාමාජිකයන් ඇසූ ප‍්‍රශ්නවලට පෙපර් අත් හසුරුවමින් මුහුණේ චලනයන් වෙනස් කරමින් තනිවම පිළිතුරු දුන්නේය. කමිටුවේ සැමගේ ඇගැයීමට පෙපර් ලක් වුණු අතර, ඔවුන් පෙපර්ට සමු දුන්නේ අත්පොළොසන් දෙමිනි.

පෙපර් රොබොට්ටා අයිති සොෆ්ට්බෑන්ක් සමාගමටය. කලින් මේ රොබොට්ටා අයිති වුණේ ඇල්ඬේබ‍්‍රාන් රොබෝ තාක්ෂණ සමාගමටය. පසුව සොෆ්ට්බෑන්ක් සමාගම එය මිලදී ගත් බව පැවැසෙයි. පෙපර්ට අති සුවිශේෂී හැකියාවක් වන්නේ මනුෂ්‍යයන්ගේ හැඟීම් අවබෝධ කර ගැනීමය. පෙපර් මුලින්ම ලොවට හඳුන්වාදීම සිදුවුණේ 2014 වසරේ ජුනි පස් වැනිදාය. ඒ, සොෆ්ට්බෑන්ක් සමාගම ඔවුන්ගේ නවතම ජංගම දුරතකන අලෙවි සැලක් ජපානයේ විවෘත කරද්දීය. එහිදී නව තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණු අතර, පෙපර් ඊට සහභාගී කරවා ගන්නා ලදී.

මනුෂ්‍යයන්ගේ හැඟීම් දැනීම් වටහා ගැනීමට පෙපර් සමත් වීම, පෙපර්ගේ ජනපි‍්‍රයත්වයට හේතුවක් ද විය. මනුෂයයන්ගේ කටහඬ අනුව, ඒ තැනැත්තා ඉන්නේ සතුටින් ද දුකෙන් ද තරහෙන් ද ආදී වශයෙන් හැඟීම් තේරුම් ගැනීම පෙපර් රොබොට්ටාට කළ හැකි වෙයි. පෙපර් බි‍්‍රතාන්‍යයට පැමිණෙන්නේ 2016 වසරේදීය. අද වනවිට පෙපර්ගේ එක හා සමාන වුණත් එකිනෙකට වෙනස් රොබෝවරුන් දෙදෙනෙකි. එකක් මුලින් නිර්මාණය කළ පෙපර් වන අතර අනෙකා යවත්කාලීන කළ පෙපර් රොබොට්ටාය.

පෙපර් රෙබොට්ටන් අලෙවිය ද ආරම්භ විය. 2015 වසරේ දී පෙපර් රොබොට්ටාගේ මිල ජපන් යෙන් 1,98,000 (ඇමෙරිකන් ඩොලර් 1,931) ක් විය. පෙපර් රොබොට්ටන් විකිණීම සොෆ්ට්බෑන්ක් අලෙවිසැල් හරහා සිදුවිය. අතිශය ජනපි‍්‍රය වූ බැවින් පළමුවෙන් නිර්මාණය කළ රොබෝවරුන් කණ්ඩායම (1,000 ක ප‍්‍රමාණයක්) තත්පර 60 ක් තුළදී අලෙවි වූ බව ද පැවැසෙයි.

පෙපර් රොබොට්ටාට මයික්‍රෝෆෝන් හතරකි. සුපැහැදිලි දසුන්වලින් පටිගත වෙන එච්.ඞී. කැමරා දෙකකි. එක කැමරාවක් ඇත්තේ නළලේය. අනෙක ඇත්තේ කටේය. ඇස්වලට පසුපසින් ති‍්‍රමාන සංවේදක සවි කර ඇත. ස්පර්ශ සංවේසක අත්වල සහ හිසේ ඇත. සෝනාර් පද්ධති දෙකක්. ලේසර් කිරණ, බාධක මඟ හැර යෑමට උපකාරී වෙයි.

පෙපර් රොබෝ නිර්මාණය කිරීම සහ අලෙවි කිරීම සිදුවී ඇත්තේ එකම එක අරමුණක් ඇතිවය. ඒ, මිනිසුන් සතුටින් තැබීමේ අරමුණය. මිනිසුන් සමඟ අන්තර් සබඳතා ඇති කර ගැනීම, මිනිසුන්ට මිතුරුවීම, මිනිසුන්ගේ වැඩ පහසුකර දීම පෙපර්ගේ කාර්යයන් වෙයි. ජපානයේ අද, පෙපර් රොබොට්ටන් බැංකුවල සහ හෝටල්වල පිළිගැනීමේ නිලධාරීන් ලෙස කටයුතු කරයි. ජපානයේ හමසූරි අවන්හල්වල වේටර්වරුන් ලෙස ද පෙපර් රොබෝවරුන් සේවය කරනු දකින්න ලැබේ. පෙපර් රොබොට්ටන් මිනිසුන් සමඟ අන්තර් සබඳා ඇති කර ගැනීමට සමත් වී ඇත්තේ ආචාර්ය සෙයිකට්සු කකුමෙයිගේ පරිගණක වැඩසටහන් අනුවය.

විකිපීඩියා ඇසුරිනි

 


RECOMMEND POSTS