බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි



ලන්ඩන් නුවර සංචාරයක නියැලෙන සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේදී බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඔටුන්න හිමි කුමරු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය 6 වැනිදාය. ඒ, ඊජිප්තුවේ කයිරෝ නුවර සංචාරයකින් ද පසුවය. ඔහු ලන්ඩනයට පැමිණියේ තනිවම නොව, සෞදි ඇමැතිවරුන් ඇතුළු විශේෂ ධූත පිරිසක් ද පිරිවරාගෙනය.
ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමෙන් පසු, බින් සල්මාන් කුමරු බි්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වෙයි.

සෞදියේ ආර්ථික සහ ආයෝජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය මජීද් බින් අබ්දුල්ලා අල් කසාබී, සෞඛ්‍ය ඇමැති තව්ෆික් බින් ෆවුසාන් අල් රබියා, සෞදි විදේශ ඇමැති අබ්දෙල් බින් අහ්මද් අල් ජුබීර්, බලශක්ති, ඛනිජ සම්පත් සහ කර්මාන්ත කටයුතු ඇමැති කලීඞ් බින් අබ්දුල්ලාසී අල් ෆලී, අධ්‍යාපන ඇමැති අහ්මද් බින් මොහ්මද් අල් ඉසා, ආර්ථික සහ සැලැසුම් පිළිබඳ ඇමැති අහ්මද් බින් මොහොමද් අප් ඉසා සහ සෞදි බුද්ධි අංශ ප්‍රධානී කලීඞ් බින් අලී අල් හුමද්දීන් සෞදි දූත පිරිසට ඇතුළත් වෙති.

මේ අයුරින් සෞදි රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක්, බ්‍රිතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. සල්මාන් කුමරු පිරිවරාගෙන ඩවුනින් වීදියේ අගමැති නිල නිවසට පැමිණි පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට අගමැතිනී තෙරේසා මේ කටයුතු කළේය. බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෝ රැසක් ද එම අවස්ථාවට එක් වී සිටියහ.

ආරක්ෂක සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ, බ්‍රිතාන්‍ය සහ සෞදි අරාබිය අතර ගිවිසුම් රැසකට අත්සන් කිරීම ද සිදුවිය. සල්මාන් කුමරුගේ උපදෙස් අනුව, ඔහුගේ පියා මෙන්ම සෞදි රජතුමා ද වන සල්මාන් රජු නව ප්‍රතිපත්ති හඳුන්වා දී ක්‍රියාත්මක කර තිබේ.

සෞදිය මධ්‍යස්ථ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමට සූදානම් වෙයි. සෞදි කාන්තාවන්ට වැඩි නිදහසක් ලබා දීම ද ඒ අනුව සිදුවෙයි. ලබන ජූලි මාසයේ සිට සෞදි කාන්තාවන්ට තනිවම රිය පැදැවීමට අවසර හිමිවන්නේ ද ඒ අනුවය. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිය ප්‍රසාදය පළ කළ බව ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS