තුර්කි ජනාධිපති වෙනිසියුලාවේ



ආජන්ටිනාවේ පැවැති ‘ජී20’ සමුළුව අවසන් වීමෙන් පසු, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්  වෙනිසියුලාවේ කරැකස් අගනුවර බලා පැමිණියේය.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගෙන් තුර්කි ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. තුර්කි ජනාධිපතිවරයා වෙනිසියුලාවට පැමිණියේ දෙරට අතර පැවැත්වෙන ආර්ථික සහ වෙළෙඳ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, වෙනිසියුලාවට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. ඒ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනය ජනතාව පීඩාවට පත් කරනවා යැයි චෝදනා නගමිනි. ඇමෙරිකාව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති එර්දොවාන් සිය පිළිකුල සහ අප්‍රසාදය පළ කළේ යැයි ද පැවැසෙයි.

ඇමෙරිකන් සම්බාධක හමුවේ නැගී සිටීමට වෙනිසියුලාව ගන්නා උත්සාහය ඇගැයීමට ලක් කළ යුතු බව පවසමින්, තුර්කි ජනාධිපති එර්දොවාන් වැඩි දුරටත් කියා සිටියේ වෙනිසියුලාවේ සහායට තුර්කිය සෑම අවස්ථාවකම ඉදිරිපත් වන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS