ජාතියට, ආගමට අපහාස දෑ ඉවත් කරනවා: ෆේස්බුක් කියයි



පාකිස්තානයේ ෆේස්බුක් ගිණුම් හරහා පළ කෙරෙන ආගමකට හෝ ජාතියකට අවමන් කෙරෙන ප්‍රකාශ සහ පින්තූර තහනම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගනිමින් සිටින බව එරට රජය පවසයි. 

රට තුළ ෆේස්බුක් තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ආරිෆ් ඛාන් ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කළේය.ජාතියකට හෝ ආගමකට අපහාස වන අන්දමින් සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස පාකිස්තානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ යටතේ මේ වන විට පාකිස්තාන ෆේස්බුක් ගිණුම් හරහා පළ කොට තිබූ එවැනි ප්‍රකාශ සහ ඡායාරූප 85% ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම සමත් වී ඇති බවත් පාකිස්තානය පවසයි. 

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැතත් ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානය වෙත දූතයෙකු එවීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ජාතියකට හෝ ආගමකට අපහාසවන අන්දමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීමට සම්බන්ධ වූ බවට සැක පිට පසුගිය සතියේ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි......

 


RECOMMEND POSTS