ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වැටුප එපා කියයි



 (රොයිටර්)
ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ලබන ජනවාරියේ දිවුරුම් දෙන තමා, තමන්ට හිමි ‘ජනපති වැටුප’ ලබා නොගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
‘ජනපති වැටුපෙන් එක් ඩොලරයක්වත් මට එපා. මං ජනපති ධුරයට පත්වුණේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමටයි. ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනාගෙන සාර්ථකත්වය කරා යන්නයි මට ඕනෑ. මට හම්බ කරන්න ඕනෑ නැහැ’ යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත.
දේපොල වෙළෙඳාම් සමාගමක ප්‍රධානියකු වන ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරියෙකි. ඔහුටම කියා ගුවන් යානයක් ද ඇත. ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාවට අනුව, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 3.7 කි.
ඇමෙරිකන් ජනපතිවරයාට ඇමෙරිකන් ඩොලර් 4,00,000 ක වැටුපක් හිමිවෙයි. ඊට අමතරව, ‘අමතර දීමනාවක්’ ලෙස ඇමෙරිකන් ඩොලර් 50,000 ක මුදලක් ද හිමිවෙයි.
ජනපති වුවහොත්, තමන් ජනපති වැටුප තමන් ප්‍රතික්ෂේප කරන බව ට්‍රම්ප් පසුගිය වසරේ සිට ජනපතිවරණ රැලිවලදී පවසා තිබුණු බව වොසින්ටන් පෝස්ට් පුවත්පත සිහිපත් කරයි.
ජනපතිවරයාට නියමිත වැටුප ප්‍රතික්ෂේප කළ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් නොවෙයි. පතල් ව්‍යාපාරිකයකු ලෙස 1929 දී ජනාධිපති ධුරයට පත් වුණු හර්බර් හූවර් සහ 1961 දී ජනපති ධුරයට පත් ජෝන් එෆ් කෙනඩි ද ඔවුන්ට හිමි ජනපති වැටුප ලබා ගත්තේ නැත. ඔවුහු ජනතා සුබසාධන කටයුතු සඳහා එම මුදල් යෙදවූහ.


RECOMMEND POSTS