ලොව ලොකුම සැප නැව



අතමිට සරු නම්, අත දිග හැර විසිකිරීමට මුදල් ඇති නම්, සැප නැවක නැගී, ලෝකය වටා සංචාරය කිරීම තරම් තවත් අපූරු දෙයක් නැත. සැප නැව්වල නැගී දින ගණනක් හෝ මාස ගණනක් හෝ මුහුදේ ගත කිරීමට ජීවිතයේ සැඳෑ සමය ගත කරන බටහිර රටවල වැඩිහිටියන් පමණක් නොව, තරුණ තරුණියෝ පවා ප්‍රිය කරති. සංචාරක නැව් Cruise Ships කර්මාන්තයෙන්, ගෝලීය ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් බිලියන 75 කට වඩා වැඩි මුදලක් හිමිවෙයි. සංචාරක ක්ෂේත්‍රයේ, ඉතාමත් වේගයෙන් වර්ධනය වන අංශයක් ලෙස සංචාරක නැව් කර්මාන්තය හැඳින්විය හැක.

ලොව විශාලතම සැප නැව, එසේත් නැතිනම් ලොව විශාලතම සංචාරක නෞකාව, අයිකන් ඔෆ් ද සීස් Icon of the Seas පසුගිය දා සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නුවරිනි. අයිකන් ඔෆ් ද සීස් Icon of the Seas යනු, රෝයල් කැරිබියන් ගෲප් Royal Caribbean Group සමූහයට අයත්, රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් Royal Caribbean International (RCI) සංචාරක නැව් සමාගමේ, නවතම සුඛෝපභෝගී සංචාරක නෞකාවය.

අයිකන් ඔෆ් ද සීස් නෞකාව ලොව විශාලතම සුඛෝපභෝගී නෞකාව වන්නේ එහි දිග මීටර් 365 ක් සහ බර ටොන් 250,800 ක් වීම නිසාය. ගිල්ලන්න බැරි යැයි පුරසාරම් දෙඩූ, අයිස් කන්දක හැපී 1,500 ක පිරිසක් සමඟ මුහුදේ ගිලී ගිය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාලය.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 2,350 කි. සාමාන්‍යයෙන් සංචාරක මගීන් 5,610 කට ඉඩ පහසුකම් ඇත. අවශ්‍ය නම් එම ප්‍රමාණය 7,600 ක් දක්වා ඉහළ දැමිය හැක. මහල් එසේත් නැතිනම් තට්ටු 20 කින් සමන්විත, අයිකන් ඔෆ් ද සීස්, පිහිනුම් තටාක හතකින් සමන්විතය. ජල ක්‍රීඩාගාර හයකි. කෘත්‍රිම දිය ඇල්ලක් ද නැව තුළ ඇත. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදි කිරීමට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකකි.

මියාමි නුවරින් අයිකන් ඔෆ් ද සීස් නැව දියත් කිරීමේ අවස්ථාව පුවත් මැවීමට සමත් විය. නැව දියත් කිරීමේ අවස්ථාවට ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහභාගී විය. මංගල ගමන කැරිබියන් දූපත් ආශ්‍රිතව සිදුවෙයි. ඇමෙරිකාවට අයත් වර්ජින් දූපත්, ශාන්ත කීට්ස්, නෙවිස්, චාලොට් අමාලි යන කුඩා දූපත් ආශ්‍රිත මුහුදේ අයිකන් ඔෆ් ද සීස් නෞකාව මේ වනවිට යාත්‍රා කරමින් සිටී.

අයිකන් ඔෆ් ද සීස් නැවත් ඇතුළත්ව රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම සතු සංචාරක සැප නැව් ගණන 28 කි. ඉදිරි වසර කීපයේ දී තවත් නැව් හතරක්, දියත් කිරීමට ද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සූදානම් වෙයි. රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් අතීතයේ හැඳින්වූයේ රෝයල් කැරිබියන් කෲස් ලයින් Royal Caribbean Cruise Line (RCCL) යනුවෙනි. රෝයල් කැරිබියන් කෲස් ලයින් ආරම්භය සිදුවූයේ 1968 වසරේදී නෝර්වේ රාජ්‍යයෙනි. අද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නගරයයි.

අයිකන් Icon යන නාමය යටතේ, සුඛෝපභෝගී සංචාරක නැව් දෙකක් ඉදි කිරීමේ කටයුත්තට, සුප්‍රකට රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම යොමු වූයේ ෆින්ලන්තයේ මෙයියර් ටුර්කු Meyer Turku නැව් තනන්නන් සමඟ හවුලේය. එක් නැවක් 2023 වසරේ තුන්වැනි කාර්තුවේදී සාදා අවසන් කිරීමටත් අනෙක් නැව 2025 වසරේ දී සාදා නිම කිරීමටත් ගිවිසුම් අත්සන් කෙරුණි. ඒ අනුව, අයිකන් Icon නාමය යටතේ පළමු අධි සුඛෝපභෝගී නෞකාව එළිදැක්වීම සිදුවිය. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදි කිරීමේ දී, විල්සන් බට්ලර් ආකිටෙක්ස් Wilson Butler Architects, ත්‍රීඩ්‍යුලක්ස් 3Deluxe, RTKL සහ ස්කයිලැබ් ආකිටෙක්චර් Skylab Architecture යන වාස්තු විද්‍යා සමාගම් ද සිය දායකත්වය සපයා ඇත.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS