නාසා යානය සඳට යයි



ඇමෙරිකාවේ නාසා ආයතනය, පසුගිය දා එරට පෞද්ගලික තාක්ෂණ ආයතනයක් ද හවුල් කර ගනිමින් රොබෝ යානයක් නිපදවා එය සඳට පතිත කළේය. ඒ, පසුගිය 23 වැනිදාය. නාසා ආයතනය මෙම යානය නම් කර ඇත්තේ ‘ඔඩිසියස්’ Odysseus යනුවෙනි. නිවැරදිව කීවොත්, NOVA C Odysseus යනුවෙනි. ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වීමෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය, රොබෝ යානයක් මෙසේ සඳට පතිත කළේ වසර 52 කට පසුවය. එපමණක් නොවෙයි, නාසා ආයතනය පෞද්ගලික ආයතනයක් සමඟ හවුලේ, සඳට යානයක් යැවූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

‘ඔඩිසියස්’ Odysseus (මෙම යානය Odie යන කෙටි නමින් ද හැඳින්වෙයි.) යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර, කේන්ද්‍රකොට ගත්, ‘ඉන්ටුවිටිව් මැෂීන්ස්’ Intuitive Machines ඇමෙරිකන් ආයතනයේ නිර්මාණයකි. ‘ඉන්ටුවිටිව් මැෂීන්ස්’ තාක්ෂණික ආයතනය මෙම රොබෝ යානය නිර්මාණය කළත්, එය පසුපස සිටින්නේ නාසා ආයතනයයි. NOVA C Odysseus යානය සම්බන්ධ මෙහෙයුම, ‘ඉන්ටුවිටිව් මැෂීන්ස්’ Intuitive Machines ආයතනය සම්බන්ධ පළමු මෙහෙයුම වන අතර, එය IM 01 ලෙස නම් කර ඇත.

‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයක් වන ‘ඔඩිසියස්’ ට පාද වැනි, ආධාරක හයකි. පසුගිය 23 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 4 ට යානය සඳට ගොඩබෑම සිදුවිය. ඒ අනුව, 1972 වසරෙන් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් සඳට යැවූ පළමු අවස්ථාව මෙයයි‍. ‘ඔඩිසියස්’ යානය ගොඩබෑවේ, සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ පෙර තෝරා ගත් ස්තානයකටය. මෙම ස්ථානයේ ආවාටයක් ඇති අතර එය මැලපර්ට් ඒ Malapert A ලෙස හැඳින්වෙයි. පසුගිය 23 වැනිදා, ‘ඔඩිසියස්’ යානය සඳට ගොඩබාන අයුරු එහි කැමරා ආධාරයෙන් සජීවීව විකාශය කිරීමට නාසා ආයතනය කටයුතු කළේය. ඒ, නාසා ආයතනයේ වෙබ් අඩවි ඔස්සේය.

සඳට මුලින්ම මිනිසුන් යැවීම කළේ ඇමෙරිකාවය. සඳට මිනිසුන් රහිත ගවේෂණ යානාය යැවූ රටවල් වන්නේ සෝවියට් රුසියාව, චීනය, ඉන්දියාව සහ ජපානයයි. පෞද්ලික සමාගමක් සම්බන්ධ වී, චන්ද්‍ර යානයක් සඳට පතිත කිරීමේ මෙම සිදුවීම අනාගතයට ඉතා වැදගත්ය. හේතුව අනාගතයේ අභ්‍යවකාශ කටයුතු බොහොමයක් සිදුවනු ඇත්තේ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වෙමිනි.

ඇපලෝ මෙහෙයුම්වලින් පසු නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන් නම් කර ඇත්තේ, කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් නමිනි. කෙටියෙන් ක්ලිප්ස් යනුවෙන් හැඳින්වෙයි. පසුගිය දෙසැම්බරයේ ද නාසා ආයතනය, ක්ලිප්ස් මෙහෙයුමක් යටතේ පෙරිග්‍රීන් නමැති චන්ද්‍ර ගවේෂණ යානය සඳට යැවීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. නාසා ආයතනය යළි ගගනගාමීන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, ආටිමස් මෙහෙයුම යටතේය. ක්ලිප්ස් යනු ආටිමස් මෙහෙයුමේ කොටසකි. ‘ඔඩිසියස්’ යානය සඳට පතිත කිරීමේ වික්‍රමය ද ආටිමස් මෙහෙයුමේ කොටසකි.

ආටිමස් මෙහෙයුම යටතේ, පළමු වරට සඳට කාන්තාවක යැවීමට ද නාසා සූදානම් වෙයි. ඊට අමතරව, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ද සැලැසුම් සකස් කර ඇත. සඳ මත කාලගුණ අන්තර්ක්‍රියා, ගුවන් විදුලි තරංග ක්‍රියාකාරීත්වය සොයා බලා, අනාගතයේ දිනක සඳ මත මිනිස් වාසයට සුදුසු ලෙම පරිවර්තනය කරන්නේ කෙසේදැයි යන්නත්, වායු ගෝලයක් නැති ගුරුත්ව බලය අඩු සඳ මතුපිට නිවාස ඉදි කළ යුත්තේ කෙසේදැයි සොයා බැලීමත් ‘ඔඩිසියස්’ යානයේ අරමුණ වනු ඇත.

සඳ බලා යෑම සඳහා ‘ඔඩිසියස්’ යානය පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝලකන් 9’ රොකට්ටුවක ආධාරයෙනි. ‘ස්පේස් එක්ස්’ යනු ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, නව නිපැයුම්කරු, ඉලොන් මස්ක් ට අයත් සමාගමය. ‘ඔඩිසියස්’, ගවේෂණ යානය රැගෙන ‘ෆෝලකන් 9’ රොකට්ටුව පසුගිය පෙබරවාරි 15 වැනිදා ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට ගියේය. පෘථිවි කක්ෂයට ගිය ‘ඔඩිසියස්’, රොකට්ටුවෙන් වෙන් වී සඳ බලා ගිය අතර, පෙබරවාරි 22 වැනිදා එය සඳුගේ කක්ෂයට පිවිසියේය. පෘථිවියේ සිට කිලෝමීටර 384,000 දුරින් ඇති සඳ වටා කක්ෂගත වෙද්දී පමණක් නොව, සඳ බලා යද්දී පවා ලබා ගත් පියසැරි දත්ත සහ ඡායාරූප හූස්ටන් නුවර ‘ඉන්ටුවිටිව් මැෂීන්ස්’ ආයතනයේ පාලන මධ්‍යස්ථානයට ලැබෙන්න සැලැස්වීය. මේ සටහන සමඟ පළ වන්නේ එසේ ලැබුණු ඡායාරූප කිහිපයකි. ‘ඔඩිසියස්’ යානය සුපිරි කැමරා පද්ධතියකින් සමන්විතය. එම කැමරා පද්ධතිය ‘ඊගල්’ ය.

පළමුවෙන් මිනිසකු සඳමත පය තැබුවේ, ‘ඇපලෝ’ 11 මෙහෙයුම් යටතේය. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන්ය. ඒ, 1969 ජූලි 20 වැනිදාය. අවසන් වරට සිදුවුණු ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම ‘ඇපලෝ 17’ ය. ඒ, 1972 වසරේදීය. ඉන්පසු කිසිවකු සඳට ගියේ නැත. ග්‍රීක මිත්‍යා කතා අනුව, ‘ආටිමිස්’ සහ ‘ඇපලෝ’ යනු නිවුන්නුය. මොවුන්ගේ පියා මහ දෙවි සූස් ය. ‘ඇපලෝ’ යනු හිරුට සහ සංගීතයට අදිපති දෙවියාය. ‘ඇපලෝ’ හිරු නම්, ‘ආටිමිස්’ කවුරුන්දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. ‘ආටිමිස්’ යනු සඳට අධිපති දෙවඟනය.

යළි මිනිසා සඳට යා යුතු බවත් අභ්‍යවකාශ කටයුතු ජය ගැනීම කළ යුතු බවත් පෙන්වා දෙමින්, නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිවරයාය. ආටිමිස් මෙහෙයුමේ දී ගගනගාමීන් සඳට ගෙන යෑමට නාසා ආයතනය භාවිතයට ගනු ඇත්තේ 'ඔරයන්' නමැති ගගන කැප්යුලයයි. මෙම කැප්සියුලය නියමුවන් රහිතව, සඳට යවා, සඳ වටේ කැරැකීමට සලස්වා ආපසු ගෙන්වා ගෙන ඇත. ඒ, 2022 වසරේ සිදු කළ ‘ආටිමිස් 1’ මෙහෙයුම යටතේය.

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට ද නාසා ආයතනය පියවර ගෙන ඇත. ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය.  ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය. රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙනු ඇත. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. ‘ආටිමිස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. මෙම පිරිස සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි. ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2026 වසරෙන් පසුවය. පළමු වරට කාන්තාවක් සඳට පය තබනු ඇත්තේ මෙම ‘ආටිමිස් 3’ මෙහෙයුමේදීය.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS