සාමාන්‍ය ප්‍රවාහන කටයුතු ඇරඹීම ගැන අවධානය



පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අවදානය යොමුකර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම හා කොවිඞ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (2) සාකච්ඡාවක් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම යන ආයතනයන්හි සභාපතිවරු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ද සහභාගි වී සිටියහ.

ලබන සඳුදා සිට දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, එහිදී මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

 


RECOMMEND POSTS