ගගනගාමීහු අ්‍යාවකාශ මධ්‍යස්ථානයට ඇතුළුවෙති



ගගනගාමීන් දෙදෙනකු රැගෙන පසුගිය සෙනසුරාදා (30) ඇමරිකාවේ ෆ්ලොරීඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලද රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ලඟාවී ඇති බව නාසා ආයතනය පවසයි.

ඇමරිකානු ජාතික ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගත් ඩ්‍රැගන් එන්ඩියවර් කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධවී ඇති අතර ගගනගාමීන් දෙදෙනා මධ්‍යස්ථානයට ඇතුළු වූ බව වාර්තා කර තිබේ.

ගමනට පැය 19ක කාලයක් ගතවී තිබේ.

වසර 9ක දීර්ඝ නිහැඬියාවකට පසු ඇමරිකාවේ නාසා ආයතනය විසින් සිදුකළ මෙම අභ්‍යවකාශ මෙහෙයුමට ස්පේස් එක්ස් සමාගම විසින් නිපදවන ලද රොකට්ටුවක් යොදාගනු ලැබීය.

 පුද්ගලික සමාගමක වාණිජමය රොකට්ටුවක් මගින් සිදුකළ ලෙව ප්‍රථම මෙහෙයුම ලෙස මෙය ඉතිහාස ගත වෙයි.

නාසා ආයතනය වාණිජ අංශයෙන් ප්‍රවාහන සේවා මිලදී ගන්නා නව යුගයක ආරම්භය මෙයින් සනිටුහන් වන බව මාධ්‍ය සඳහන් කර තිබේ.

කැලිෆෝනියාවේ හැව්ටෝන් හි පිහිටි ස්පේස් එක්ස් සමාගම බිලියනපතියෙකු වන එලොන් මස්ක් විසින් මෙහෙයවනු ලබයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේ වනවිට චීනයට ඉහලින් කිලෝමීටර් 422ක දුරින් කක්ෂයක ගමන් කරමින් තිබේ.

 


RECOMMEND POSTS